සෝ සුසුම් මැද කඩුවෙල ගින්නෙන් දිවි අහිමි වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් නිවසට
කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන්, ඔවුන් ජීවත් වූ තලාහේන අටේ කණුව ප්‍රදේශයේ නිවස වෙත රැගෙනවිත් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව දේහයන් ඥාතීන් වෙත භාරදී ඇති අතර, දේහයන් නිවසට රැගෙන එනු ලැබූ අවස්ථාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
ඉකුත් 19 වැනිදා අලුයම සිදුවූ මෙම අවාසනාවන්ත අනතුරින් අදාළ ගොඩනැගිල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි නාරද සඳරුවන්, ඔහුගේ 28 හැවිරිදි බිරිඳ වන ලක්ෂිකා මධුශානි සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන 5 හැවිරිදි දිලෙනි හසන්‍යා හා 2 හැවිරිදි ඔනෙලි පහන්යා යන අය ජීවිතක්ෂයට පත්වූහ.
මියගිය පවුලේ සාමාජිකයන් තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වුවද, ඇතැම් දිනවල අදාළ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි පසුපස කාමරයක නවාතැන්ගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගිය සිරුරු පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව, දේහයන් විවෘත කළ නොහැකි ලෙස (සීල් තබා) ඥාතීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (21) තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.