ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
මීට අමතරව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.