ඉන්දීය බුද්ධි අංශයෙන් දරුණු හෙළිදරව්වක් LLTEයත් සම්බන්ධයිලු
ඉන්දියාවේ මැර කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දාවුඩ් ඊබ්‍රහිම් නැමැත්තාගේ කල්ලිය වන ඩාවුඩ් ඊබ්‍රාහිම් සින්ඩිකේට් නම් සංවිධානය දකුණු ඉන්දියාව හරහා තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා මාර්ග ගවේෂණය කිරීමට උත්සාහ දරන බව ඉන්දීය බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මත්ද්‍රව්‍ය සහ ජාවාරම් සඳහා දිගු කලක් ප්‍රසිද්ධව සිටින D සින්ඩිකේට් නම් සංවිධානය විසින් සිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTTE සංවිධානයේ හිටපු ඇතැම් සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මෙම කල්ලි විසින් ඇති කරගන්නා වූ නව සංවිධානයක් හරහා ඉදිරියේදී මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යාම ආරම්භ කරනු ඇති බවටත් ඉන්දීය බුද්ධි අංශ හෙළි කරගෙන ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
හිටපු LTTE ක්‍රියාකාරීන් සහ අනුගාමිකයින් සම්බන්ධ කරගන්නේ ඇයි ? ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති කරුණු අනුව D කල්ලියේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින හිටපු LTTE ක්‍රියාකාරිකයින් සහ අනුගාමිකයින් සමග සම්බන්ධකම් පවත්වමින් සිටිනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉදිරියට පවත්වාගෙන යාම සඳහාය.
විශේෂයෙන් මෙම අපරාධ කල්ලි දෙකටම දිගුකාලීන සබඳතා ඇති අතර විවිධ නීති විරෝධී සහ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මෙම කල්ලි දෙක පොදු ජාලයක් හරහා මින් පෙරද කටයුතු කර තිබේ.
එබැවින් ශ්‍රී ලංකා හමුදාව විසින් පරාජය කරන ලද මෙම LTTE සංවිධානයට මෙය අවස්ථාවක් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම මෙම නව සංවිධානය ආරම්භ වෙමින් පවතිනුයේ ප්‍රධාන වශනේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ අනෙකුත් උතුරු ප්‍රාන්තවල සිදුකරනු ලබන මෙහෙයුම්වලදී D කල්ලිය දැඩි පාඩු ලැබීමත් සමගය.
මේ අතර ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ LTTE සංවිධානය නැවත පැමිණීමට උත්සාහ කරන බවය. එම ඒජන්සිය අනාවරණය කරගෙන ඇත්තේ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයින් විදේශීය බැංකුවලින් මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඒ හරහා සිය සංවිධානය නැවත පණ ගැන්වීමට ඔවුන් උත්සාහ කරන බවත්ය.
සංඛ්‍යාත්මකව ප්‍රමාණයක් නොතිබුණද සැලකිය යුතු හිටපු LTTE සාමාජිකයින් සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් බොහොමයක් ඉන්දියාව ආශ්‍රිතව පදිංචිව ඇත. කෙසේ නමුත් ඔවුන්ගේ ජාලය මේ වන විට විනාශ වී ඇති බැවින් ඔවුන්ට ක්‍රියා කිරීමට නොහැකි වී තිබේ. එමෙන්ම ඔවුන්ට නිසි නායකත්වයක් නොමැති බැවින් නැවත පණ ගැන්වීමට උත්සාහ කිරීමට පවා අරමුදල් නොමැති බවත් එම වාර්තා හී සඳහන්ව තිබේ.
එබැවින් D කල්ලිය සමග ඇතිකරගන්නා වූ සම්බන්ධතාවය හරහා LTTE සංවිධානයට අත්‍යවශ්‍ය අරමුදල් ලැබෙනු ඇති බවත් මෙම අරමුදල් සමගින් සාමාජිකයින් බඳවා ගැනීමට මෙන්ම ආයුධ සහ පතොරම් මිලදී ගැනීමටත් ඔවුන් අපේක්ෂා කර ඇතැයිද මේ වන විට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. තවද මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මෙහෙයුම් ප්‍රදේශ හිටපු LTTE සාමාජිකයින් හොඳින් දන්නා බැවින් මෙම බැඳීම D කල්ලියට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවත් ඔවුන් ගොඩබිම සහ මුහුද යන මාර්ග දෙකෙහිම හුරුපුරුදු අයවලුන් වන බැවින් මෙම හැකියාව D කල්ලියයේ සාමාජිකයින්ට උපකාරි වනු ඇති බවත් වාර්තා වේ.
විශේෂයෙන් මෙම සංවිධානයේ ප්‍රාග්ධනය සහ ජාත්‍යන්තර ප්‍රවේශය, පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ LTTE යේ හිටපු සාමාජිකයින්ට සිය වෙරළබඩ දැනුම සමග ඒකාබද්ධව දකුණු ඉන්දියාවට සහ ඉන් ඔබ්බට නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය පහසු කළ හැකි බවද ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කර තිබේ. දශක ගණනාවක් පුරා දෙමළ ඩයස්පෝරාවේ කොටස් තුළ විදේශීය ව්‍යාපාර හරහා මත්ද්‍රව්‍ය ආදායම් භාවිත කිරීම සහ මුදල් විශුද්ධීකරණය කිරීම සම්බන්ධයෙන් LTTE සංවිධානයට චෝදනා ද එල්ල වී තිබුණි.
කෙසේ නමත් ඉන්දීය ජ්‍යෙෂ්ට බුද්ධි නිලධාරීයෙක් පවසා ඇත්තේ LTTE ත්‍රස්තවාදී සංවිධානයේ මහා පරිමාණ පුනර්ජීවනයක් තවමත් සිදුවිය නොහැකි බවත් ඔවුන්ගේ දෘෂටිවාදය බොහෝ දුරට මියගොස් ඇති බවත්ය. D - සින්ඩිකේට් කල්ලිය විසින් මුදල් සහ ජාත්‍යන්තර ප්‍රවේශය ගෙන එන අතර හිටපු LTTE සාමාජිකයින් ගැඹුරු දේශීය දැනුමක් ලබා දෙනු ඇති බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් කරන පෝක් සමුද්‍ර සන්දිය හරහා වෙරළබඩ මාර්ග පිළිබඳව හිටපු LTTE ක්‍රියාකාරීන් හොඳින් දන්නා බැවින් දකුණු ඉන්දියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පහසු වනු ඇති බවත් වාර්තා වේ.
හවුල්කාරිත්වයෙන් D කල්ලියට මත්ද්‍රව්‍ය වෙළෙඳපොළේ ආධිපත්‍ය සහ LTTE යේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නව හවුල්කාරිත්වය හරහා D කල්ලියට දකුණු මත්ද්‍රව්‍ය වෙළෙඳපොළේ ආධිපතය දැරීමට සහ ඉන්දියාවේ සෙසු ප්‍රදේශවලට ළඟා වන නව සැපයුම් දාමයන් ස්ථාපිත කිරීමට උපකාරී වනු ඇති බවය. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳාමට LTTEය සම්බන්ධ වීම 1980 වසරේ සිට පැවත ආ අතර ඔවුන් තම සටන්කාමී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම භාවිත කර ඇත.
එමෙන්ම ඔවුන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාවාරම් මාර්ග කිහිපයක් පාලනය කළ අතර ඒ තුළින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. එම මාධ්‍ය වාර්තා කර ඇති පරිදී මීට වසර තුනකට පෙර LTTE සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට දැරූ උත්සාහයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් ව්‍යාර්ථ කර ඇත. එහිදී සුරේෂ් රාජ් සහ සෞන්දරාජන් ලෙස හඳුනාගෙන ඇති තමිල්නාඩුවේ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව පදනම් කරගත් හිටපු LTTE නායකයින්ගේ නියෝග යටතේ ඔවුන් කටයුතු කර ඇති බවත් විමර්ශකයින් අනාවරණය කරගෙන තිබේ.
දශක ගණනාවක් පුරා LTTEය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද අරමුදල් නිත්‍යානුකූල ව්‍යාපාරවලට යොදවා ඇති අතර විශේෂයෙන් දෙමළ ඩයස්පෝරා ජාල ක්‍රියාකාරීව පවතින කැනඩාව සහ නෝර්වේ වැනි රටවල එම ආයෝජනයන් සිදුකරමින් සිය මුදල් විශුද්ධීකරණය කරනු ලැබීය. "මාරාන්තික සංයෝජනයක්" ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පරිදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙම නව සන්ධානය මාරාන්තික සංයෝජනයක් ලෙස හඳුන්වා දී තිබේ. ඩී සින්ඩිකේට් ලාභදායී දකුණු මාර්ගවල පාලනය ලබා ගන්නා අතර හිටපු LTTE හිතවාදීන් සහ ක්‍රියාකාරීන් ඔවුන්ට අත්‍යවශ්‍ය අරමුදල් මේ තුළින් ලබා ගනී. මේ හරහා ඔවුන්ට ඉන්දියානු සාගරය පුරා විහිදෙන බලගතු ජාවාරම් කොරිඩෝවක් නැවත ගොඩනැගිය හැකි බව ආරක්ෂක අංශ විශ්වාසය පළ කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ දකුණු ඉන්දියාවේ සින්ඩිකේට් සංවිධානයේ වර්ධනය වන බලපෑම LTTE දෘෂ්ටිවාදීන් පුනර්ජීවනයට වඩා විශාල තර්ජනයක් එල්ල කරන බවට එරට ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇති බවය. ඒ අනුව අනතුර ත්‍රස්තවාදය පමණක් නොවන බවත් එය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය සහ ආයුධ ව්‍යාපාරයට එකවර සහාය විය හැකි අපරාධ යටිතල පහසුකම් වන බවත් ඔවුන් අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සහ ඉන්දීය බුද්ධි අංශ සැක සහිත ක්‍රියාකාරීන් අතර සන්නිවේදනය සහ මූල්‍ය ප්‍රවාහයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ආරක්ෂක හමුදා තමිල්නාඩුව, කේරළය සහ ලක්ෂද්වීප් දූපත් වටා සමුද්‍ර මුර සංචාර දැඩි කිරීමටත් මෙම නව සන්ධානයට මුදල් යොමු කළ හැකි දෙමළ ඩයස්පෝරා ජාලද ඉන්දීය ආරක්ෂක අංශ බලධාරීන් නිරීක්ෂණයට ලක් කරමින් ඇති බවත් ඉන්දීය මාධ්‍ය මේ වන විටත් වාර්තා කර තිබේ.