දරුණු අනතුරක් ගැන හෙළිදරව්වක් - පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව 2025 වසර සඳහා වන පාර්ලිමේන්තු වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) විසින් අදාළ සමාලෝචිත වර්ෂයේදී පාර්ලිමේන්තුවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් සිදුකර ඇති බව එහි සඳහන් වේ.
එම ඇගයීමේදී පරීක්ෂාවට ලක් කළ කරුණු 56ක් අතුරින් කරුණු 46කම අවදානම් තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවට තහවුරු වී ඇති බව අදාළ වාර්ෂික කාර්යසාධන වාර්තාවේ දැක්වේ.
සයිබර් තාක්ෂණය අවභාවිත කරමින් ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සංවේදී තොරතුරු සොරකම් කිරීම, ආයතනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණවීම මෙන්ම වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කරමින් ආයතනික කීර්තිනාමයට හානි කිරීම වැනි අනර්ථකාරී ක්‍රියා සිදුවීමේ ඉහළ අවදානමක් පවතින බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව මේ පිළිබඳව වහාම අවධානය යොමුකළ යුතු බවට විගණනයේදී ද නිරීක්ෂණය වී ඇති බව එහි සඳහන් වේ.