තීරණාත්මක සාකච්ඡා හෙට ඉස්ලාමාබාද්හිදී - ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන ප්‍රකාශයක්
ඉරානය සමග සාම සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු නියෝජිතයින් හෙට (20) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (19) තහවුරු කර තිබේ.
ඔහු සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මෙම තොරතුරු ප්‍රකාශ කර ඇති අතර, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවද චෝදනා කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේදී වෙඩි තැබීම් සිදු කර ඇති බවත්, එය සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවත්ය. එම සිදුවීම් අතර ප්‍රංශ නෞකාවක් සහ එක්සත් රාජධානියේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්ද ඉලක්ක වී ඇති බව ඔහු පවසා ඇත.
එමෙන්ම, ඉරානය හේතුවෙන් දිනකට ඩොලර් මිලියන 500ක පමණ ආර්ථික බලපෑමක් ඇතිව ඇති බවද ඔහු කියා සිටී.
හෝමූස් සන්ධිය අවට නාවික ගමනාගමනය වෙනස් වෙමින් පවතින බවත්, ඇතැම් නෞකා අමෙරිකාව, ටෙක්සාස්, ලුසියානා සහ ඇලස්කා වැනි ප්‍රදේශ වෙත යොමු වන බවත් ඔහු සඳහන් කර ඇත.
ඉරානය ඉක්මනින් ආර්ථික හා දේශපාලනික අර්බුදයකට ලක්විය හැකි බවත්, සාකච්ඡා අසාර්ථක වුවහොත් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.