නාන කාමරයෙන් මතු වු කොවිඩ් එන්නත් (VIDEO)

covid19 vaccination gampaha covishield vathupitivala
By Sewvandhi Jun 09, 2021 02:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් ගම්පහ වතුපිටිවල රෝහලේ අද (09) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. එය තවත් උණුසුම් වූයේ රෝහලේ නාන කාමරයකින් කොවිෂීල්ඩ් එන්නත් තොගයක් හමුවීමත් සමගින්ය.

වතුපිටිවල රෝහලේ සේවය කරන විවිධ ශ්‍රේණිවලට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාමාජිකයින් ට සහ ඔවුන්ගේ ඥාතීන්ට කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට අද සැලසුම් කර තිබිය දී ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එම එන්නත් තොග වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

දෙවන මාත්‍රාව ලබාගැනීමට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින්ට මේ නිසා ආපසු හැරීයාමට සිදුවිය. “උදේ 7ට විතර ආපු ගමන් තාමත් නෑ ඉතින්. විදින්නේ නෑ කියනවා.“ එම සිද්ධියට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළේය. “අපේ ළඟම ඥාතීන් ඔක්කෝම ටික මේ වන විට පොදු ප්‍රවාහනයක් නොමැති කාලයක තමන්ගේ පෞද්ගලික වියදම් දරාගෙන අපේ රෝහලට ගෙන්නුවා.ගෙන්වලා පැයක් ඇතුළත කියනවා අද විඳින්න විදියක් නෑ ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ අනුමැතිය ඕනේ කියලා. ඒ නිසා අපි සියලුම ක්ෂේත්‍ර එකතුවෙලා තමන්ගේ රාජකාරීවලින් ඉවත් වෙනවා.“

මේ අතර භාවිතයට ගන්නා ලද කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා අඩංගු කුප්පි 200කට ආසන්න ප්‍රමාණයක් වතුපිටිවල රෝහලේ නාන කාමරයක තිබී සොයාගත් බව එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් අනාවරණය කළේය. මේ පිළිබඳව අපි වතුපිටිවල රෝහලෙන් විමසීමක් කළේය.

ඒවා පළමු එන්නත් මාත්‍රාව ලබාදීමේ දී එක් කුප්පියකින් 10දෙනෙකුට ලබාදුන් පසුව ඉතිරි වු කොටස් බවත් තවත් සම්පුර්ණ එන්නත් කුප්පි දෙකක් ප්‍රවාහනයේ දී නියමිත තාක්ෂණික කාරණා සම්පුර්ණ නොවීම හේතුවෙන් ඉතිරි වු ඒවා බවත් එම රෝහලේ ප්‍රකාශකයා පැවසීය.

පසුගිය මාර්තු මස පළමු මාත්‍රාව ලබාදීමෙන් පසු ඉතිරි වු මෙම එන්නත් කුප්පි විනාශ කිරීම සඳහා ගබඩා කර තිබු ඒවා බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.