කොරෝනා ආසාදිතයන්ගේ පැහැදිලි නොමැති අඩුවීමක්
මේ දක්වා වාර්තා වු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛණ වලට අනුව කෝව්ඩි අසාදිතයින්ගේ අපහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව කියා සිටියේ දින කිහිපයකට වතාවක් කොරෝනා අසාදිතයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
එය සිදු වන ආකාරය අපහැදිලි බව ඔහු සඳහන් කළා. මේ අතර, ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියමා අකිරා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් මර්දන , වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ලබන සිකුරාදා තවත් රුසියානු ස්පුට්නික් එන්නත් 65,000 ක් මෙරටට ලැබිමට නියමිතයි. ඉන් එන්නත් 15,000 ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයින්ට දෙවන එන්නත මාත්‍රාව ලෙස ලබා දිමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ. අනෙක් එන්නත් මාත්‍රා පනස් දහස මහනුවර ප්‍රදේශයේ පුද්ගලයින්ට ලබා දෙනු ඇති.
මේ අතර, ගර්භනී මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීමේ කටයුතු පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී අද ආරම්භ වුණා. නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශයේ ද එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වුණා. එසේම, අද දිනයේදි මෙරට තවත් කොරෝනා අසාදිතයින් 2168 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 80,427ක් ලෙසයි. අද මේ දක්වා තවත් ආසාදිතයින් 2173 දෙනෙකු මෙරටින් හදුනා ගැනුණා. ඒ අනුව, මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 212,284ක් ලෙසයි. මේ අතර, කොවිඩ් වසංගතය පාලනය සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එමඟින් ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් ප්‍රතිඵල දායක වීමට,ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි. පසුගිය සතිය තුළ මෙරට කොවිඩ් රෝගීන් 12%කින් සහ කොවිඩ් මරණ 28%කින් ඉහළ ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.
මේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවේදි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මේ අතර, විශ්‍රාම ගිය හෙද හෙදියන් සේවා අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට උපදෙස් ලබාදී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කළ ඉල්ලීමකට අනුව, අග්‍රාමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. දිවයින පුරා හෙද හෙදියන් 34,000ක් පමණ මේ වනවිට සේවයේ නිරත වන අතර ඔවුන්ගේ ගැටලු විසදීමට ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමුකර තිබෙනවා.
මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 යන දෙදින තුල විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ තොග වෙළඳාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි. පෑලියගොඩ මැනිං වෙළඳපොල ද එම දෙදින තුල විවෘත කරන ලෙස අමාත්‍යවරයා දන්වා තිබෙනවා.
මේ අතර 2020/ 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 18 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මේ අතර, පවතින සංචරණ සිමා දිර්ඝ කිරිම සහ ඒ පිළිබඳව සලකා බැලිම සම්බන්ධයෙන් හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විමට ද නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |