ආසියාවේ විශාලතම පැල්පත් නිවාස සංකීර්ණයේ කොවිඩ් පාලනය කළ හැටි!

covid19 india Mumbai Dharavee imunity
By Sewvandhi Jun 15, 2021 12:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආසියාවේ විශාලතම පැල්පත් නිවාස සංකීර්ණය වන ඉන්දියාවේ මුම්බායි හි ධරාවි පැල්පත් සංකීර්ණයේ කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් දෙවන රැල්ලේ උපරිම අවදියේදී එයින් ආසාදිතයන් 6,800 ක් පමණ හඳුනාගෙන ඇති අතර මේ වනවිට එහි සිටින ආසාදිතයන් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා පහළ බැස ඇති බව සඳහන්ය.

ගෙවුණු දිනයේදී ඉන් කිසිදු ආසාදිතයෙක් හඳුනා නොගැනීම ද විශේෂත්වයකි. අඛණ්ඩව හා වැඩි වශයෙන් ජනතාව කොවිඩ් පරීක්ෂණවලට බඳුන් කිරීම, දොරින් දොරට ගොස් පුද්ගලයන් පරීක්ෂා කිරීම, එහිදී හඳුනාගන්නා සැකසහිත පිරිස් උපදේශාත්මක නිරෝධායනයට යොමු කිරීම හා නිරෝධායනයට අවශ්‍ය පහසුකම් සපයාදීම තුළින් ධරාවි හි කොවිඩ් අවදානම මගහරවා ගත හැකි වූ බව මුම්බායි බලධාරීන් පවසා ඇත.

ඉහළ ජන ඝනත්වයක් සහිත ධරාවි පැල්පත් සංකීර්ණයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සුවිශේෂ කරුණක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ අවම ජීවන තත්ත්වයක් සහිත මන්දපෝෂණයෙන් පෙළෙන හා අඩු ප්‍රතිශක්තීකරණයෙන් යුතු පැල්පත්වාසීන් වසංගත රෝගවලට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් පැවතීම හේතුවෙනි.

මේ අතර එංගලන්තයට පනවා ඇති කොවිඩ් පාලන සීමා ජූලි 19 තෙක් ක්‍රියාත්මක බව අගමැති බොරිස් ජොන්සන් ඊයේ නිවේදනය කර තිබේ. ඩෙල්ටා වෛරස ප්‍රභේදය නිසා ඉදිරියේදී එක්සත් රාජධානිය කොවිඩ් තුන්වන රැල්ලකට සැලකිය යුතු මට්ටමකින් ගොදුරු වනු ඇති බවට ද විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය අතිශයයින් පීඩාකාරී වනු ඇති බවද ඔවුන්ගේ අදහසය. සතියක් තුළ එරට කොවිඩ් ආසාදිතයන් 64%කින් පමණ ඉහළ ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ තමා කිසිවක් නොකර සිටීමෙන් තවත් පුද්ගලයන් දහස් ගණනක් මරණයට පත්විය හැකි බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කර ඇත.

මේ අතර අමෙරිකාවේ නෝවාවැක්ස් සමාගම විසින් වැඩිදියුණු කරන ලද කොවිඩ් මර්දන එන්නත, නව වෛරස ප්‍රභේදවලට එරෙහිව 90%ක ඵලදායිතාවකින් යුතු බවට සායනික අත්හදාබැලීම්වලදී අනාවරණ වී තිබේ. මේ වසරේ තෙවන කාර්තුව වනවිට නෝවාවැක්ස් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව අදාළ සමාගම පවසයි. සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද 17 කෝටි 70 ලක්ෂය ඉක්මවා ගිය අතර වාර්තාවන ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 38 ලක්ෂ 27 දහසකට අධිකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now