කොවිඩ් මරණ 500ක් දින 10 කින්

corona virus sri lanka Covid deaths
By Sithumi Jun 11, 2021 02:56 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ, දිනක් තුළ රජය තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වන මරණ 101ක් වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කිරීමත් සමගය.

මෙරට කොවිඩ් මරණ සිදුවූ රටාව සලකා බලනවිට පළමු මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ අතර දෙවැනි මරණ 500 වාර්තා වූයේ දින 72ක් තුළදීය. නමුත් කොවිඩ් මරණ 1,000 සිට 1,500 දක්වා ඉහළ යාමට ගතවී ඇත්තේ දින 13කි.

ඉන් අනතුරුව 1,500 සිට 2,000 දක්වා ඇති මරණ 500 සිදුවීමට ගතවී ඇත්තේ දින 10ක් පමණක් බව එම මරණවල දත්ත සලකා බැලූ විට පැහැදිලි වේ.

මේ අතර, ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000ක් අද (11) අලුයම රුසියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ඒ අතරට ස්පුට්නික් දෙවන මාත්‍රා 15,000ක්ද අන්තර්ගත බවය.

එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට ලබාදීමට නියමිත අතර ඉතිරි එන්නත් 50,000 මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට කටයුතු සම්පාදනය කෙරෙන බව ඔහු පැවසීය. මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොස්ගම ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා එන්නත්කරණ වැඩසටහන අද (11) කොස්ගම සුමේධ විද්‍යාලයේදී සිදුකෙරුණි. 

 සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම එහිදී සිදුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කරනු දක්නට හැකි විය. ඒ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණි පුද්ගලයින්ටද එම ස්ථානයේ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි චෝදනා කරමිනි.

මේ අතර, දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති එන්නත්කරණ වැඩසටහනට දකුණු පළාතෙන්ද පිරිස් පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කළ බව අප වාර්තාකරු පැවසීය. ඒ හේතුවෙන් එම ස්ථානයේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි