මගේ සේවාදායකයා කිසිදු වරදක් කර නැහැ.. ඇප දෙන්න බෑ කියන්න බෑ - රිමන්ඩ් කළ නාමල් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වයි
ක්‍රිෂ් ගණුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විසින් පසුගිය ඔක්තෝබර් මස 23 වැනි දින දෙන ලද නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම අද (25) දින කොළඔ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බංඩාර හමුවේ සලකා බලා ඇත.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ අල්ලස් කොමිසම ඇතුළු අඳාළ ප්රතිශෝධන පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ සිය තීන්දුව එළඹෙන 14 වැනි දින ප්‍රකාශ කරන බවයි.
එසේම අද (25) මෙම පෙත්සම කැඳවූ විටදී පෙත්සම්කාර නාමල් රාජපක්ෂ සඳහා ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම සිද්ධියට අදාළවම දෙන ලද තවත් නියෝගයකට එරෙහිව ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සමක කරුණු ද මෙම පෙත්සමෙන් ආවරණය කරන බැවින් එම නියෝගයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපති නීතිඥවරයා එහිදී ඉල්ලීමක් කළ අතර එම අවසරය ලබාදීමට අධිකරණය එහිදී තීරණය කළ බව සඳහන්.
පසුව ජනාධිපති නීතිඥවරයා මෙම ප්රතිශෝධන පෙත්සමට අදාළව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ,
"ස්වාමීනි, මගේ සේවාදායකයාට එල්ල වන චෝදනාව දූෂණ විරෝධී පනතට අයත් වන්නේ නෑ. එම චෝදනාව ඉදිරිපත් කර ඇත්තේ අල්ලස් පනතට අනුවයි. එහෙත් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් විසින් 149 වගන්තිය යටතේ සහතිකය ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී පනත යටතේ යි. එම සහතිකය සම්බන්ධයෙන් වන නීතිය වැරදි ලෙස හුවා දක්වමින් තමයි මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ඇප ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය ප්‍රකාශ කර තිබෙන්නේ. එය සම්පූර්ණයෙන්ම වැරදියි " ස්වාමීනී. මගේ සේවාදායකයා වරදක් කර ඇති බවට චෝදනා එල්ල කර ඇත්තේ පැරණි අල්ලස් පනත යටතේ යි. නමුත් ඇප සම්බන්ධ ඉල්ලීම සලකා බලා ඇත්තේ දූෂණ විරෝධී පනත යටතේ යි. අල්ලස් පනත යටතේ මගේ සේවාදායකයා කිසිදු වරදක් කර නැහැ. එහි සඳහන් වන පරිදි අල්ලසක් ගන්නවා ගන්නා අවස්ථාවේදී ඔහුව අල්ලා ගත යුතුයි. නමුත් එවැන්නක් සිදුවූයේ නෑ."
"මගේ සේවාදායකයාට ඇප ප්‍රතික්ෂේප කරමින් ගරු මහේස්ත්‍රාත්වරයා විසින් ලබා ලබාදී ඇති නියෝගය දෝෂ සහිතයි. එහිදී දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය වැරදි ලෙස වටහාගෙන තමයි නියෝගය ලබා දී ඇත්තේ. එහෙත් අල්ලස් පනත යටතේ වරදකට සාමාන්‍ය ඇප පනත යටතේ ඇප ලබාදිය හැකියි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදී ඇති නියෝගය වැරදියි. අල්ලස් කොමිසම තමන්ට අවශ්‍ය අවශ්‍ය විදියට නීතිය භාවිත කිරීමට යනවා. එය ඇත්තටම නීතිය අවභාවිතා කිරීමක්."
මේ සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් - දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදී 36%ක වැටුප් වැඩිවීමක්
එමෙන්ම දූෂණ විරෝධී පනත අදාළ වන්නේ එම පනත යටතේම වැරදි සඳහා බව අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා ඒ බව අදාළ පනතේ 149 වන වගන්තියේ " මෙම පනත යටතේ" යනුවෙන් තෙවරක්ම සඳහන් කර ඇති බවද ප්‍රකාශ කළා.
තවද දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී පුද්ගල නිදහස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තවත් නඩු තීන්දු කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එබැවින් මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් ඇප ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය ට එරෙහිව ගොනුකර ඇති මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් එහි වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
ඒ සම්බන්ධ නියෝගය දෙසැම්බර් මස 14 වැනි ප්‍රකාශ කිරීමට අධිකරණය තීරණය කළා.