පොලිස් චරිතයක් වෙනුවෙන් සායි පල්ලවී කොණ්ඩය කපයි - අම්මයි තාත්තයි පුදුම වෙලා
ඉදිරි චිත්‍රපටයක චරිතයකට ගැළපෙන පරිදි සිය දිගු කෙස් කළඹ කෙටි කිරීමට ජනප්‍රිය ඉන්දීය නිළි සායි පල්ලවී තීරණය කර තිබෙනවා. ඇයගේ මෙම වෙනස්කම දැක මව සහ පියා පුදුමයට පත්වූ ආකාරය පිළිබඳවද සායි පල්ලවී මෑතකදී අදහස් දක්වා තිබුණා.
ඇය මෙලෙස පෙනී සිටින්නේ රාජ්කුමාර් පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන OM Chapter 1 - Udhiram: The Blood Wood චිත්‍රපටයේ චරිතයක් වෙනුවෙනුයි.

එහිදී සායි පල්ලවී නීතිවිරෝධී රතු සඳුන් දැව ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය කරන මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (CBI) නිලධාරිනියකගේ චරිතයට පණ පොවනවා.
BehindwoodsTV සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත්තේ චිත්‍රපටයේ කතාව අසා තම චරිතය නිරූපණය වන ආකාරය අවබෝධ කරගත් පසු එම චරිතයට ගැළපෙන පරිදි තම පෙනුම වෙනස් කරගැනීමට තීරණය කළ බවයි.
“මම මගේ කොණ්ඩය කෙටි කළා. මගේ අලුත් පෙනුම මුලින්ම වීඩියෝ ඇමතුමකින් අම්මාට පෙන්වූවා. ඇය ඒ ගැන පුදුම වෙලා ඇයි එහෙම කළේ කියලා ප්‍රශ්න ගොඩක් ඇහුවා. පසුව ඇමතුම විසන්ධි කළා. ඊට පස්සේ තාත්තා කතා කරලා ඇහුවේ මම විග් එකක් දාගෙනද ඉන්නේ කියලා. ඒක චරිතය වෙනුවෙන්ම කළ වෙනස්කමක් බව මම ඔහුට පැහැදිලි කළා. මගේ අලුත් කොණ්ඩයට හුරු වෙන්න ඔවුන්ටත් ටික කාලයක් ගත වුණා,” යනුවෙන් ඇය පවසා තිබෙනවා.
මේ අතර, චිත්‍රපටයේ අධ්‍යක්ෂ රාජ්කුමාර් පෙරියසාමි ද සායි පල්ලවීගේ මෙම කැපවීම අගය කර තිබෙනවා.
එම චරිතය වෙනුවෙන් ඇයගේ මෙම පෙනුම සුදුසුම තේරීම බවත්, චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ගැළපෙන පරිදි විවිධ වෙනස්කම් සිදුකරන ආකාරයටම සායි පල්ලවී ද කතාවට දැක්වූ කැමැත්ත නිසා මෙම වෙනස්කම සිදුකළ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
නොවැම්බර් 20 වැනිදා තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ මම්මූටි සහ ශ්‍රීලීලා ද රංගනයෙන් එක්ව සිටිනවා.