ඉකුත් රජය සමයේ පොස්පේට් අඩු මිලට විකිණීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට
ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබාගත් පොස්පේට් තොග සම්මත මිලට වඩා අඩු මිලකට හිතවත් සමාගම්වලට අපනයනය කිරීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබා දුන්නේය.
පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජනරාල්, නීතිපති ඇතුළු 32 දෙනෙකු නම් කර තිබුණි.
පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලන ලදී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, 2000 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට පටහැනිව ලංකා පොස්පේට් සමාගම පොස්පේට් තොග ලබාගත් බවයි. එසේම, ලෝක වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට හිතවත් සමාගම්වලට පොස්පේට් අපනයනය කිරීමෙන් රජයට සහ මහජනතාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවූ බව ඔහු චෝදනා කළේය.
තවද, විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කරමින් පොස්පේට් නිකුත් කිරීමට බලපත්‍ර ලබාදීමට කටයුතු කළ බවට තොරතුරු හෙළි වූ බව නීතිඥවරයා සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම 2026 මාර්තු 09 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළේය.