සජින් ද වාස්ට ඇප
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, වසරක් ඇතුළත රුපියල් කෝටි 24ක අයථා වත්කම් උපයා ගත් බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය.
සැකකාර හිටපු මන්ත්‍රීවරයා විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සමයේ සිය බිරිඳ සහ දරුවන් සමඟ පුද්ගලික විදේශ සංචාර 27ක නිරත වෙමින්, තමන් උපයන ආදායම අභිබවා රුපියල් 243,850,942.23ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම ඇප නියම කෙරිණි.
සැකකරුගේ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා විමර්ශනවලට සහාය දක්වන බවත්, ඔහුගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙසත්ය.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දුන් අතර, විමර්ශනවල ප්‍රගතිය ලබන අගෝස්තු මස 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.