බැංකු ගිණුම්වලට මෙහෙම කරලා අහුවෙන්න එපා - දෙන්නෙක් CID එකෙන් අත්අඩංගුවට
අන්තර්ජාල ව්‍යාපාර මඟින් ඉහළ ලාභාංශ උපයාගත හැකි බව සඳහන් කර කාන්තාවන් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් දෙකකට අදාළව, තම බැංකු ගිණුම් ජාවාරම්කරුවන්ට ලබාදුන් සැකකරුවෙකු සහ සැකකාරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මඟින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.
පැමිණිලිකාරියක රවටා ඇයගෙන් රුපියල් 3,141,967ක මුදලක් වංචා කර තිබෙන අතර, ඉන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගාල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකාරියකගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට වාර්තා වේ.
අනතුරුව ඇය විසින් එම ගිණුම තෙවන පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම අනෙක් පැමිණිල්ලට අනුව, එම ප්‍රමාණය (රු. 3,141,967) මුදලක් වංචා කර ඉන් රුපියල් 233,522ක මුදලක් පානදුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරුවෙකුගේ ගිණුමට බැර කර ඇත. ඔහුද වංචනික අරමුණින් තම ගිණුම නොදන්නා පාර්ශවයකට අලෙවි කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන මෙහෙයවන බව වාර්තා වේ.