චීනයේ ජෛව තාක්ෂණ සමාගමක බිහිසුණු පිපිරීමක් - 8දෙනෙක් ජීවිතක්ෂයට
උතුරු චීනයේ ජෛව තාක්ෂණ සමාගමක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සහ අඛණ්ඩ නිල පරීක්ෂණයක් ද මේ වන විට ආරම්භ වී ඇති බව සඳහන්.
ඒ අනුව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, ෂැන්සි පළාතේ ෂෝයැං නගරයේ කුඩා තාක්ෂණ සමාගමක් වන ජියාපෙන්ග් ජෛව තාක්‍ෂණ ආයතනයේ සෙනසුරාදා පස්වරුවේ ඇති වූ බලවත් පිපිරීමකින් මෙසේ පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය බවයි.
එමෙන්ම බලධාරීන් සඳහන් කළේ, හදිසි කණ්ඩායම් මඟින් ඝන කහ දුමාරයක් නැඟුණු කඳුකර ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ අතර, තුවාල ලැබූ සේවකයින්ට ඒ අසලම ප්‍රතිකාර ලබා දුන් බවයි.
කෙසේ වෙතත් පිපිරීමට අඳාළ හේතුව තීරණය කිරීමට විමර්ශකයින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ අතර එම ස්ථානයේ අනතුරුදායක ද්‍රව්‍ය ගබඩා කර ඇති බව සඳහන් කර ඇතත්, නිලධාරීන් මෙතෙක් කිසිදු නිගමනයකට එළඹ නොමැත.
එමෙන්ම පිපිරීමෙන් අවට ව්‍යුහයන්ට හානි සිදු වූ අතර ප්‍රාදේශීය ගමනාගමනයට ද බාධා ඇතිව තිබෙනවා.
එසේම ගලවා ගැනීමේ කණ්ඩායම් දිවි ගලවා ගත් අය වෙනුවෙන් සුන්බුන් සොයමින් සිටියදී නිවැසියන් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.