මිරිස්, කහ,තුනපහ ගන්නේ බලාගෙන..මෙන්න විස්තරේ
කෘතීම වර්ණක සහ සහල් යොදාගනිමින් මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු සහ තුන පහ කුඩු ආහාරයට නුසුදුසු අයුරින් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 2 බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් සනත් විජේසිංහ මහතා පසුගියදා නියෝග කළේය.
මතුගම යටදොලවත්ත මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්.වයි.කේ. අල්විස් මහතා විසින් 30/04 බී පෝරමයක් මගින් අධිකරණය කරුණු දක්වමින් ඉදිරිපත්කල ඇල්ලහේන ,යටදොලවත්ත ,මතුගම පදිංචි බී.එච්.අනුක මහේෂ් නමැති අයෙක් මෙසේ ඇප මත නිදහස් කරනු ලැබීය.
මතුගම යටදොලවත්ත පවත්වාගෙන යන ආයතනයක මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස්කුඩු ඇතුළු නිෂ්පාදන කීපයක් නිෂ්පාදනය කරන බවට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී කෘතීම වර්ණක යොදාගනිමින් නිෂ්පාදනය කල රතු සහල් ,කෑලි මිරිස් කිලෝ ග්‍රෑම් 150 ක පමණ තොගයක් ඇතුළුව ප්ලාස්ටික් බඳුන් වල අසුරා තිබු කෑලිමිරිස්,මිරිස් කුඩු ,කහ කුඩු ,තුනපහ කුඩු කිලෝ ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙරද මෙම ස්ථානය වටලා මෙම සැකකරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කල අතර එම අවස්ථාවේදීද මෙම සැකකරුට අධිකරණයෙන් දඩුවම් නියම කරනු ලැබීය.
මෙම වැටලීම සඳහා කළුතර වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නවීන් ද සොයිසා ,මතුගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චින්තන රණවක අතිරේක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාලක ජයසිංහ, කළුතර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක බුද්ධික ගංගොඩතැන්න,කළුතර දිස්ත්‍රික් වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සේනාරත්න ඇතුළු මතුගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී විය.
