පොලී අනුපාත වැඩි කිරීමෙන් බැදුම්කර පොලිය අසාමාන්‍ය ලෙස වැඩි වෙයි - අනාගතයට රතු එළියක්
ආර්ථික විද්‍යාවේදී වඩාත්ම වැදගත් වන්නේ යම් තීරණයක අපේක්ෂිත අරමුණ නොව, එම තීරණය මඟින් අවසාන වශයෙන් ඇති කරන සැබෑ ප්‍රතිඵලය බව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයකු සහ අඩ්වකොටා ආයතනයේ ප්‍රධානී මූර්තසා ජැෆර්ජි මහතා සඳහන් කරයි.
ඒ අනුව මෑතකදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත 1% කින් ඉහළ දැමීමට තීරණය කළ අතර, එය ඉතා තියුණු මෙන්ම දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් බව සඳහන්.
එසේම ඔහු පෙන්වා දෙන්නේ උද්ධමන අපේක්ෂාවන් පාලනය කිරීම සහ ආර්ථිකය ස්ථාවර කිරීමට මෙම පියවර අත්‍යවශ්‍ය යැයි බලධාරීන් සලකන්නට ඇති බවයි.
කෙසේ වුවද මෙම තීරණයේ සෘජු බලපෑම පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී පැහැදිලිව දක්නට ලැබුණු බව ජැෆර්ජි මහතා පවසයි.
ඒ අනුව අදාළ දත්ත ප්‍රස්ථාරයට අනුව, මීට පෙර පැවති වෙන්දේසිවලට සාපේක්ෂව (ප්‍රස්ථාරයේ රතු පැහැයෙන් දැක්වෙන බුබුළු මඟින්) ආසන්නම දින වෙන්දේසි වූ බැඳුම්කර වෙනුවෙන් ඉතා ඉහළ පොලී අනුපාත (Yields) ගෙවීමට රජයට සිදුව තිබෙනවා.
ඒ අනුව මෙම තත්ත්වයෙහි බරපතළම ආර්ථික ඇඟවුම වන්නේ මේවා දිගුකාලීන බැඳුම්කර වීම බව සඳහන්.
ඉන් අදහස් කරන්නේ මෙම තනි වෙන්දේසියේදී තීරණය වූ අධික පොලී පිරිවැය ඉදිරි වසර ගණනාවක් පුරා අඛණ්ඩව ගෙවීමට රජයට සිදුවන බවයි.
මූර්තසා ජැෆර්ජි මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් ගත් ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන්, මෙම තනි බැඳුම්කර වෙන්දේසිය හරහා පමණක් රජයේ ඉදිරි පොලී පිරිවැය ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, එය දිගුකාලීනව මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට සහ රාජ්‍ය වියදම් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවත් ය.