පරිසර නිලධාරීන් 281ක් බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වන චෝදනාවට රජයෙන් පිළිතුරු
මධ්‍යම පරිසර අධිකාරියට පරිසර නිලධාරීන් 281 දෙනෙකු බඳවා ගැනීමේ වැඩපිළිවෙළේදී අක්‍රමිකතා සිදු වූ බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අද (27) එම අධිකාරියේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පරිසර අමාත්‍යාංශයේදී මාධ්‍ය අමතමින් ප්‍රතිචාර දැක්වූහ.
පසුගිය 25 වැනිදා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලබා දීම සිදු කෙරුණේ ඉදිරිපත් වූ අයදුම්පත් 14,000ක් අතරින් පැවැත්වූ විධිමත් තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගත් පිරිසකටයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් අදාළ තරග විභාග පැවැත්වූ බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව සමස්ත ක්‍රියාවලිය සිදු වූ බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව, බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදු වූ බවට සමාජ මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තහවුරු කළේය.