සතියක් AI සහායකයෙක් සමඟ ජීවත් වූ මාධ්‍යවේදිනිය හෙළි කළ පුදුම සහගත අත්දැකීම
Meta සමාගම විසින් හඳුන්වා දී ඇති Muse කෘත්‍රිම බුද්ධි සහායකයා දෛනික ජීවිතයේ කටයුතු පහසු කිරීමට සමත් වුවද, එය භාවිත කිරීමේදී පෞද්ගලිකත්වය සම්බන්ධ ගැටලු මෙන්ම ඇතැම් අපහසු අත්දැකීම්වලට ද මුහුණදීමට සිදුවන බව BBC තාක්ෂණ හා AI සංස්කාරක Zoe Kleinman පවසයි.
එක්සත් රාජධානිය තුළ Muse හඳුන්වාදීමට පෙර සතියක කාලයක් එය භාවිත කරමින් ලැබූ අත්දැකීම් ඇසුරින් ඇය මේ බව වාර්තා කර තිබේ.
සාමාන්‍යයෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් ඔබ්බට ගොස් පරිශීලකයන් වෙනුවෙන් විවිධ කාර්යයන් ඉටුකිරීමට හැකි පද්ධති AI Agents ලෙස හැඳින්වේ.
අඩු මිලකට බලශක්ති ගිවිසුමක් සොයාදීම, පාසල් දින දර්ශනයක් සකස් කිරීම වැනි කාර්යයන් ඒ හරහා සිදුකරගත හැකි බව Meta සමාගම පෙන්වා දෙයි.
Muse හරහා නිවාඩුවක් ගත කිරීමට සුදුසු ස්ථාන සොයාදීම වැනි කාර්යයක් පැවරිය හැකි අතර, පරිශීලකයා යෙදවුමෙන් ඉවත් වී වෙනත් කටයුතුවල නිරතව සිටියද එම කාර්යය අඛණ්ඩව සිදුකර අවසන් වූ පසු ප්‍රතිඵල දැනුම්දීමට එයට හැකියාව පවතී.

කෙසේ වෙතත්, පරිශීලකයාගේ අවසරයකින් තොරව නිවාඩු වෙන්කරවා ගැනීම හෝ මිලදී ගැනීම් සිදුකිරීම එයට කළ නොහැකිය.
යම් කාර්යයක් සිදුකිරීමට, පණිවිඩයක් යැවීමට හෝ සමාජ මාධ්‍ය ඔස්සේ යමක් පළ කිරීමට පෙර ද පරිශීලකයාගේ අවසරය ලබාගැනීම අවශ්‍ය වේ.
BBC මාධ්‍යවේදිනිය පවසන්නේ Muse භාවිත කිරීම සඳහා තම පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුමක්, දින දර්ශනය සහ දුරකථන පණිවිඩ සම්බන්ධ කිරීමට සිදුවීමේදී පෞද්ගලිකත්වය පිළිබඳ යම් අපහසුතාවක් දැනුණු බවයි.
කෙසේ වෙතත්, ඇය සිය BBC ගිණුම් වෙත ප්‍රවේශය ලබාදී නොමැත. එමෙන්ම, Muse හට මේ වන විට බොහෝ යෙදවුම් වෙත සෘජු ප්‍රවේශයක් නොමැති බව ද ඇය පෙන්වා දෙයි.
දේශපාලන ආතතීන් මැද යළිත් පුපුරා ගිය සංස්කෘතික විවාදය- බැංගලෝරුවේ පාකිස්තාන ටෙලි නාට්‍ය වැඩසටහන් නවතා දැමූ හැටි මෙන්න
දුම්රිය ප්‍රවේශපත්‍ර සොයාදීමට එයට හැකි වුවද, තමන් භාවිත කරන අඩු මිලක් සහිත යෙදවුම හරහා ඒවා වෙන්කරවා දීමට එයට නොහැකි වූ බව ද ඇය සඳහන් කරයි.
Amazon සමාගම ද දත්ත ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කරමින් Muse වෙත සිය වෙළෙඳපොළට ප්‍රවේශ වීම අවහිර කර තිබේ.
එහෙත් තමන් භාවිත කළ AI සහායකයාට එම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොතිබූ බවත්, රාක්ක කිහිපයක් සොයාදීම සඳහා වෙබ් පිටුවක් විවෘත වන තෙක් පැයක් පමණ නැවත නැවතත් උත්සාහ කළ බවත් ඇය පවසයි.
මේ අතර, Marks & Spencer, Debenhams Group, Currys, Sainsbury's සහ Ocado ඇතුළු එක්සත් රාජධානියේ ප්‍රධාන සමාගම් කිහිපයක් Meta සමඟ කටයුතු කරමින් සිටින බව ද වාර්තාවේ සඳහන් වේ.
AI සහායකයාට පෞද්ගලිකත්වය පිළිබඳ අවධානයක්
එක්සත් රාජධානියේ තොරතුරු කොමසාරිස් කාර්යාලය (ICO) ද Muse හඳුන්වාදීමත් සමඟ AI සහායකයන් භාවිත කිරීමේදී පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතු බවට අනතුරු අඟවා තිබේ.
AI සහායකයන්ගෙන් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබිය හැකි බව එම ආයතනය පිළිගෙන ඇතත්, එහි ප්‍රධාන විධායක නිලධාරී Paul Arnold පවසා ඇත්තේ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත භාවිත කරන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහ පාලනයක් ඔවුන්ට ලබාදීම Meta සමාගමේ වගකීමක් බවයි.
එමෙන්ම, AI සහායකයන්ට වැරදි සිදුවිය හැකි බවත්, ඒවා ස්වයංක්‍රීයව කටයුතු කරන අවස්ථාවලදී එම වැරදිවල බලපෑම තවත් පුළුල් විය හැකි බවත් ICO ආයතනය අවධාරණය කර තිබේ.
'Linda' ලෙස නම් කළ AI සහායකයාගේ හැසිරීම
BBC මාධ්‍යවේදිනිය තමන් භාවිත කළ Muse සහායකයා 'Linda' ලෙස නම් කර තිබූ අතර, එයට බ්‍රිතාන්‍ය කාන්තා හඬක් ද තෝරාදී තිබේ.
ඇයගේ විද්‍යුත් තැපෑලට පණිවිඩයක් ලැබුණු සෑම අවස්ථාවකදීම එය සාරාංශ කර පිළිතුරක් යෝජනා කිරීමට Linda කටයුතු කර ඇත.
එහෙත් ඇතැම් අවස්ථාවලදී තමන් පිළිතුරු දීමට සූදානම් වීමටත් පෙර එවැනි යෝජනා ලැබුණු බව ඇය සඳහන් කරයි.
තවද, පණිවිඩයකට පිළිතුරු ලබාදීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි විස්තර ඇතුළත් කිරීම වැනි අපහසු අවස්ථා ද ඇතිව තිබේ.
උදාහරණයක් ලෙස, යම් ගමනකට එක්වීමට කැමතිදැයි විමසූ අවස්ථාවක සරල පිළිතුරක් ලබාදීම වෙනුවට එම ගමනට අදාළ සියලු විස්තර ඇතුළත් පිළිතුරක් සකස් කර තිබේ.
එමෙන්ම, ඇතැම් අවස්ථාවලදී 'හරි' සහ 'ස්තුතියි' වැනි වචන නැවත නැවත භාවිත කරමින් සංවාදය දිගටම පවත්වාගෙන යාමට ද එය උත්සාහ කර ඇති බව ඇය පවසයි.
බැංකොක් නගරය සලිත කරමින් ප්‍රධාන තෙල් ගබඩාවක පිපිරීමක් - දැවැන්ත දුම් වලාකුළක් මැද ජනතාවට ඉවත් වීමේ නියෝග
Muse යෙදවුම භාවිත කිරීම එක්තරා සීමාවක් දක්වා නොමිලේ ලබාදෙන අතර, ඉන් පසුව ගාස්තු අයකරන දායකත්ව ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ද වාර්තාවේ සඳහන් වේ.
අවසානයේදී මාධ්‍යවේදිනිය තම AI සහායකයාගෙන් මිනිසුන්ගේ රැකියා අත්පත් කරගැනීමට අදහස් කරන්නේදැයි විමසා තිබේ.
ඊට පිළිතුරු දෙමින් Linda පවසා ඇත්තේ මිනිසුන්ගේ පරිපාලන කටයුතු සහ සුළු කාර්යයන්වල බර අඩු කිරීම තම අරමුණ බවයි.
කෙසේ වෙතත්, AI තාක්ෂණය වඩාත් දියුණු වන විට එය මිනිස් පාලනය යටතේ පවත්වාගෙන යාම අභියෝගයක් විය හැකි බවට Meta සමාගමේ AI අංශ ප්‍රධානී Alexandr Wang ද අනතුරු අඟවා තිබීම මෙම තාක්ෂණය පිළිබඳ සාකච්ඡාව තවත් පුළුල් කර තිබේ.