චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානීන් ජනාධිපති සමඟ සාකච්ඡාවක
සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී ෂැං බිංනන් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරියේදී ආරම්භ කිරීමට යෝජිත නව ආයෝජන ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩපිළිවෙළ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙන්වා දුන් චීන සමාගම් ප්‍රධානීහු, වත්මන් රජයේ ස්ථාවර වැඩපිළිවෙළ කෙරෙහි පවතින ඉහළ විශ්වාසය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙන ඒමට කටයුතු කරන බව ප්‍රකාශ කළහ.
මීට අමතරව, මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ සැපයුම් සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට දැඩි උනන්දුවක් පවතින බව සඳහන් කළ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රයන්හි කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්හ.
එමෙන්ම ඉදිරි සියලු ආයෝජන ව්‍යාපෘතිවලදී 90% ක දේශීය ශ්‍රමයක් යොදාගැනීමට කටයුතු කරන බවත්, එමඟින් මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට නව රැකියා අවස්ථා නිර්මාණය වන බවත් චීන සමාගම් ප්‍රධානීහු මෙහිදී සහතික වූහ.
මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර යන මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ හා චීන වරාය ඉංජිනේරු සමාගමේ (CHEC) ඉහළ පෙළේ විධායක නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.