ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වේයි හුවාෂියැං රාජකාරි භාරගැනීමට මෙරටට පැමිණෙයි ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්කරන ලද වේයි හුවාෂියැං මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම සඳහා අද (11) දිවයිනට පැමිණ තිබේ.
මෙරටට පැමිණීමෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නව තානාපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින අභිමානවත් දිගුකාලීන මිත්‍රත්වය හා බහුපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවෙන බවයි.
ශ්‍රී ලංකාවේ පොහොසත් ඓතිහාසික උරුමය, සොබාදහමේ සුන්දරත්වය මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සුහදශීලී ආගන්තුක සත්කාරය පිළිබඳව සිය උපරිම ප්‍රසාදය පළ කළ තානාපතිවරයා, චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පැවැති සමුද්‍රීය හා සංස්කෘතික සබඳතා ද ආවර්ජනය කර සිටියේය.
ඓතිහාසික 'රබර් - සහල් ගිවිසුම' ඇතුළු සන්ධිස්ථාන මෙන්ම විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසුව දෙරට අතර සබඳතා වඩාත් සමීප වූ ආකාරය ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම 'Belt and Road'වැඩසටහන යටතේ දෙරට අතර සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පුළුල් වී ඇති බවත්, එම ව්‍යාපෘති හරහා දෙරටේම ජනතාවට ඉහළ ප්රතිලාභ රැසක් හිමිව ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.
2025 වසරේදී චීනයේ සිදුකළ නිල සංචාරයන්හිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමුවී පැවැත්වූ ඉහළ පෙළේ සාකච්ඡා ද තානාපතිවරයා සිහිපත් කළ අතර, එම හමුවීම් හරහා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට නව උපායමාර්ගික දිශානතියක් සහ ශක්තියක් ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.