ඉදිරියේදී නිකුත් වන විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

Report

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නව ආගමන පනත් කෙටුම්පත යටතේ, අනාගතයේදී නිකුත් කිරීමට නියමිත විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීමට නියමිතය.

ඒ අනුව, නීති කෙටුම්පත්කරු විසින් සකස් කරන ලද ආගමන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම පනත් කෙටුම්පත මඟින් 1948 අංක 20 දරන ආගමන හා විගමන පනත ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.

මීට පෙර මේ සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණද, 2024 සැප්තැම්බර් 24 වැනිදා නවවන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එහි ඉදිරි කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි විය. එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයකට ද යටත් විය.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී නව ආගමන පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.

වාහන සිහිනය සැබෑ වෙන ලකුණු - ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක්

වාහන සිහිනය සැබෑ වෙන ලකුණු - ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක්

පසුව, 2025 දෙසැම්බර් 10 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී, අනාගතයේදී නිකුත් කිරීමට නියමිත විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන රට අත්සන් කිරීමේ සහතික කිරීමේ අධිකාරිය ලෙස ආගමන හා විගමන භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නව පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට ද අනුමැතිය හිමි විය.

ඒ අනුව, නීති කෙටුම්පත්කරු විසින් සකස් කරන ලද නව ආගමන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.