ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

Report

මෙරට ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුතුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ පියවර පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති මෙම රැස්වීමේදී, රජයේ ඉඩම් අවභාවිතය වැළැක්වීම සහ ව්‍යාජ ඔප්පු මඟින් සිදුවන ඉඩම් වංචා අවම කිරීම සඳහා සියලු ඉඩම් දත්ත ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් හරහා ජාලගත කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

රජයේ ඉඩම්වල අයිතිය, සීමා නිර්ණය සහ අදාළ තොරතුරු GPS ඛණ්ඩාංක මත පදනම් වූ ජාතික ඩිජිටල් ඉඩම් දත්ත පද්ධතියක් යටතේ ස්ථාපිත කිරීම මඟින් ඉඩම් පරිපාලනය විධිමත් කළ හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එමෙන්ම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන අතර පවතින සීමා නිර්ණය සහ අයිතිය පිළිබඳ සම්බන්ධීකරණ ගැටලු විසඳීමට ද යෝජනා විය.

මෙම කාරක සභා රැස්වීමේදී 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සලකා බලා අනුමත කර ඇත. එම සංශෝධන මඟින් එළුවන්, ඌරන් සහ බැටළුවන් ප්‍රවාහනය කිරීම නියාමනයට ඇතුළත් කිරීමට නියමිත අතර, එමඟින් පාද හා මුඛ රෝගය වැනි සත්ව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අපේක්ෂිතය.

ඊට අමතරව, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, එහිදී බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පෞද්ගලික පිඹුරුපත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම සහ මහජනතාවට සහතික කළ පිටපත් ලබාගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.

අටපිරිකර මිලදී ගැනීමේදී මහජනතාව ප්‍රවේශම් වෙන්න - පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්

අටපිරිකර මිලදී ගැනීමේදී මහජනතාව ප්‍රවේශම් වෙන්න - පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, රොෂාන් අක්මීමන, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, ඥානමුත්තු ශ්‍රීනේසන්, අජිත් පී. පෙරේරා සහ රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන් මෙන්ම අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.