බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට දරුණු ප්‍රහාරයක් - තිදෙනෙක් මරුට
යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී කුඩා භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල කළ ප්‍රහාරයකින් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රතු මුහුදේදී කුඩා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙලෙස ඉලක්ක කර ඇති බව සාගර ආරක්ෂක මූලාශ්‍ර ද රොයිටර් පුවත් සේවය වෙත තහවුරු කර තිබේ.
ටැන්සානියා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ 'තිහාමා' නැමැති මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය තහවුරු වුවහොත්, එය පසුගිය පෙබරවාරි අගදී එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගැටුම් උත්සන්න වූ පසු නෞකාවකට එල්ල වූ පළමු මාරාන්තික ප්‍රහාරය බවට පත්වනු ඇත.
හූති සංවිධානය මෙතෙක් ප්‍රහාරයේ වගකීම නිල වශයෙන් භාරගෙන නොමැති අතර, ඕමානයේ සලාලා සිට ජිබුටි දක්වා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ සිටි පකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයෙකු ප්‍රහාරයෙන් මියගොස් ඇති බව යේමන ආරංචි මාර්ග සඳහන් කරයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් දැනටමත් දැඩි අර්බුදයකට ලක්ව සිටින ජාත්‍යන්තර නාවික සමාගම්වලට, බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ සිදුවන මෙවැනි ප්‍රහාර හමුවේ මුහුදු මාර්ගවල ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, හූතිවරුන් විසින් යේමන රජයේ පාලනය යටතේ පවතින වෙරළබඩ වරාය නගරයක් වන මොකා සහ මධ්‍යම ප්‍රාන්තයක් වන මාරිබ් ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව යේමන හමුදාව ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය උපායමාර්ගික නාවික මාර්ගවලට තර්ජනයක් වනවා මෙන්ම යේමනය තුළ නැවතත් සිවිල් යුද්ධයක් මතුවීමේ අවදානම දැඩි කර ඇත.