අධිකරණයට අපහාස කළැයි විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව විභාග කරන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහි පැමිණිල්ල විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සල්ලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර සිදු කළ බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම පැමිණිල්ල කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුව ඊයේ දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබීය. එහිදී අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන බව විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, එම විනිසුරු මඩුල්ල විනිසුරුවන් වන රොහාන්ත අබේසූරිය, චමත් මොරයිස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පාසන් අමරසේන මහතා මීට පෙර තීරණය කර තිබුණේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය අධිකරණයට අපහාස කර ඇති බවයි.

අනතුරුව, ‘2024 අංක 8 දරන අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත’ යටතේ සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කර තිබේ.

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

මේ අතර, තමන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

එම පෙත්සමේ කරුණු තහවුරු කර ගැනීම සඳහා එය සැප්තැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.