මේ වාහන ගැන සමාගමෙන්ම ශ්රී ලංකාවට දැනුම්දීමක්
චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම මඟින් තම සමාගම මඟින් මෑතකදී ප්රකාශයට පත් කරන ලද ගෝලීය වාහන නැවත කැඳවීම ශ්රී ලංකාවට අදාළ නොවන බවට පැහැදිලි කර තිබෙනවා.
එසේම මේ වන විට මෙරට ධාවනය වන කිසිදු BYD මාදිලියකට මෙම තත්ත්වය බලපාන්නේ නැති බවත් එම සමාගම ශ්රී ලාංකීය පාරිභෝගිකයින්ට සහතික වී ඇත.
මෑතකදී BYD සමාගම මඟින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්රමිතීන් පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීමක් ලෙස BYD Tang සහ Yuan Pro වාහන 115,000ක් පමණ යළි කැඳවීමට නිවේදනය කර තිබුණා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් BYD සමාගම දැක්වූවේ මෙම ආපසු කැඳවීම අදාළ වන්නේ, 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කරන ලද විශේෂිත BYD Tang වාහන සඳහා පමණක් වන බවයි.
එමෙන්ම 2021 පෙබරවාරි 6 සිට 2022 අගෝස්තු 5 අතර නිෂ්පාදනය කරන ලද ඇතැම් Yuan Pro විදුලි වාහන සඳහා පමණක් බවද එහි සඳහන් වුණා.
මේ අතර සමාගම වැඩිදුරටත් සඳහන් කළේ මෙම විශේෂිත මාදිලි ශ්රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී හෝ අලෙවි කර නොමැති බවයි.
මෙරට තිබෙන BYD වාහන ආනයනය, බෙදාහැරීම සහ සේවා සැපයීම සිදු කරනු ලබන්නේ සන්නාමයේ බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (Pvt) Ltd ඔස්සේ පමණයි.
ඒ අනුව එම සමාගම අවධාරණය කර ඇත්තේ දේශීයව අලෙවි කරන වාහනවලට පුළුල් නිෂ්පාදක වගකීම් ආවරණය වන බවත්, ඉහළම ප්රමිතියේ සේවාවක් සහ රැකවරණයක් සහතික කිරීමට විදුලි වාහන පුහුණුව ලත් කාර්මික ශිල්පීන් සහිත අලෙවියෙන් පසු පහසුකම්වලින් සහාය දක්වන බවත්ය.
අඳාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ "BYD සමාගම ලොව පුරා සිටින සියලුම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, විනිවිදභාවය සහ වගකීම් සහගත ක්රියාමාර්ග වෙනුවෙන් කැපවී සිටින" බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා පාරිභෝගිකයින්ට 0112 125 125 ඇමතීමට හෝ info.jkcg@keells.com වෙත විද්යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකි බව දන්වා ඇත.