ආසියානු කුසලානයට පෙර තුන්කොන් එක්දින තරගාවලියකට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඇරයුම්
2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්කර ගනිමින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් බංග්ලාදේශයේදී පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර තිබේ.
පසුගියදා බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හමුවක් අතරතුරදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බව සඳහන් වුවද, තරගාවලිය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.
අදාළ රටවල් දෙකෙහි ක්‍රිකට් පාලක මණ්ඩල මේ වන විට යෝජනාව සලකා බලමින් සිටින අතර, ඔවුන්ගේ අවසන් එකඟතාව ලැබීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 4 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
බංග්ලාදේශය අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබාදී ඇත්තේ 2016 වසරේදීය.
එම තරගාවලිය විස්සයි20 ආකෘතියෙන් පැවති අතර, එහි අනුශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
තමීම් ඉක්බාල්ගේ සභාපතිත්වයෙන් යුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන පළමු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.