ආණ්ඩුවේ ලොක්කෙක්ව බරපතළ ලෙස විවේචනය වෙයි - පසුපෙළ මන්ත්‍රීන්ගෙන් ජනපතිට පැමිණිලි
ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන නායකයෙකුට එල්ල වී ඇති බරපතළ විවේචන හමුවේ රජය දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බවට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ පුද්ගලයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා වත්මන් පාලනය කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසය පළුදු වන බවට එම මන්ත්‍රීවරුන්ගේ අදහස බව සඳහන්.
අඳාළ දේශපාලනඥයාට එරෙහිව ප්‍රධාන ලෙසම එල්ල වී ඇති දූෂණ චෝදනා ලෙස රජයේ දේපළ සහ උපකරණ පෞද්ගලික පරිහරණයට ගැනීම, අනවශ්‍ය ලෙස වරප්‍රසාද සහ ඉන්ධන දීමනා භුක්ති විඳීම, නිලතල අවභාවිත කරමින් කටයුතු කිරීම දක්වයි.
ඒ අනුව මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් ජාතික ජන බලවේග රජය සතු සදාචාරාත්මක ගරුත්වය විනාශ වෙමින් පවතින බවට මන්ත්‍රීවරු අවධාරණය කරන බව සඳහන්.
එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු වී බලයට පත් වූ රජයක මෙවැනි සිදුවීම් වාර්තා වීම සුළුකොට තැකිය නොහැකි බවයි.
තවද ගම් මට්ටමේ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයන් නගන ප්‍රශ්න හමුවේ තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද අඳාළ නියෝජිතයෝ ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම අනිසි ක්‍රියාකලාපය නිවැරදි නොකළහොත්, එය ඉදිරි මැතිවරණ ජයග්‍රහණ කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරනු ඇති බවටත්, සමස්ත රජයේ පැවැත්මට එය තර්ජනයක් විය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවන බව සඳහන්.