යුරෝපා සංගමයෙන් චීනයට හා රුසියාවට දැඩි විවේචන

Report

යුරෝපා සංගමය විසින් නිකුත් කරන ලද නවතම ස්ථාවර වාර්තාවක් මගින් චීනය සහ රුසියාව වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

එම රටවල් දෙක "තමන්ගේ අභිමතය පරිදි ගෝලීය බලතුලනය වෙනස් කිරීමට" සහ "ලෝකය නැවතත් බලපෑම් ක්ෂේත්‍ර මත පාලනය වන යුගයකට ගෙන යාමට" උත්සාහ කරන බවටයි. මෙය බ්‍රසල්ස් නුවරින් බීජිං පාලනය වෙත එල්ල වූ ප්‍රබලතම නිල විවේචනයක් ලෙස සැලකෙයි. පසුගිය සඳුදා යුරෝපීය සංගමයේ විදේශ අමාත්‍යවරුන් 27 දෙනා විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙම ලේඛනය අනුමත කර තිබේ.

මෙහිදී චෝදනා කර ඇත්තේ මීට පෙර නේටෝ සංවිධානය භාවිතා කළ සෘජු වචන මාලාවම යොදාගනිමින්, යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය පිටුපස සිටින "ප්‍රධාන සක්‍රීයකරණ බලවේගය" ලෙස චීනය ක්‍රියාකරන බවටයි. යුරෝපීය ආරක්ෂාවට සහ ජාත්‍යන්තර නීති රාමුවට අභියෝග කරන ප්‍රධානම බලවේග දෙක ලෙස රුසියාව සහ චීනය මෙම වාර්තාව මගින් හඳුන්වා දී තිබේ.

යුරෝපීය සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ආයතනය විසින් සකස් කරන ලද මෙම ලේඛනයේ මෙසේ සඳහන් වේ.

"මෙම ගෝලීය පරිවර්තනය මධ්‍යයේ ඇති ප්‍රධානම තර්ජනය වන්නේ, රුසියාව සහ චීනය ප්‍රමුඛ කරගත් ඇතැම් බලවතුන් ප්‍රාදේශීය ආධිපත්‍යය පිහිටුවීමටත්, තමන්ගේ වාසියට ගෝලීය බලතුලනය වෙනස් කිරීමටත් දැඩි උත්සාහයක නිරත වීමයි."

මෙම වසර අගදී එළිදැක්වීමට නියමිත යුරෝපීය සංගමයේ පළමු ආරක්ෂක උපායමාර්ගික වැඩපිළිවෙල සඳහා පදනම ලෙස මෙම ලේඛනය යොදාගැනීමට නියමිතයි.