ඉරානයට පමණක් පවතින හෝර්මුස් පාලන බලය වෙනස් කිරීමේ අරමුණින් ඕමානයෙන් කලාපීය යාන්ත්‍රණයක් යෝජනා කරයි
ඉරානයේ පමණක් පවතින හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය වෙනස් කරමින් කලාපීය රටවල් එක්ව කළමනාකරණය කිරීම සඳහා ඕමානය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවයට අනුව, ගල්ෆ් කලාපීය මූලාශ්‍රයක් සඳහන් කර ඇත්තේ, ඕමානය විසින් ඉරානය වෙත ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් ස්වේච්ඡා ගාස්තු මත පදනම් වූ ඒකාබද්ධ කලාපීය යාන්ත්‍රණයක් හඳුන්වා දීමට අදහස් කරන බවයි.
මෙම සැලැස්මට කලාපීය රටවල සහාය ලැබී ඇති අතර, එය ක්‍රියාත්මක වුවහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයට පමණක් පවතින පාලන බලය අවසන් වනු ඇතැයි එම මූලාශ්‍රය පවසා තිබේ.
මෙම යෝජනාව සකස් කර ඇත්තේ මැලක්කා සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන ආකෘතිය ආදර්ශයට ගනිමිනි. එහිදී එම සමුද්‍ර මාර්ගය භාවිත කරන පාර්ශ්ව ස්වේච්ඡාවෙන් ගාස්තු ගෙවා නාවික පහසුකම්, පරිසර ආරක්ෂණ වැඩසටහන් සහ සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක වේ.
ඉරානය හා එක්සත් ජනපදය අතර ඇති වූ ගැටුම් මධ්‍යයේ, එක්සත් ජනපදය සති අන්තයේදී ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාර මෙහෙයුම් හදිසියේ නතර කළ අතර, එය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා බලාපොරොත්තු ඉහළ නැංවීය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගැටුමට පෙර ලෝකයේ බලශක්ති සැපයුම්වලින් පහෙන් එකක් පමණ ප්‍රවාහනය විය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කළේ, ඇමරිකාව සහ ඉරානය අතර "හොඳ සාකච්ඡා" පැවැත්වෙන බවත්, ගිවිසුමකට පැමිණීමේ අවස්ථාවක් ඇති බවත්ය.
කෙසේ වෙතත්, සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇමරිකානු ප්‍රහාර නැවත ආරම්භ කරන බවට ඔහු අනතුරු ඇඟවීය.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳුදා ඕමාන හා සෞදි අරාබි විදේශ අමාත්‍යවරුන් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක සඳහන් වූයේ, කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම හා ඒකාබද්ධ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව අරග්චි අවධාරණය කළ බවයි.