අස්වැසුම ගැන අලුත් දැනුම්දීමක් - මේ වෙනකල් අස්වැසුමට ප්‍රතිලාභීන් තෝර ගන්න විදිහ වෙනස් කරයි - දැන් නව ක්‍රමවේදයක්
අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වත්මන් නිර්ණායක සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී ඇත.
ඒ අනුව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට ක්‍රියාත්මක වන තේරීම් නිර්ණායකවල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමේ අරමුණින් එම නිර්ණායක සමාලෝචනය කරන ලෙස කාරක සභාව මීට පෙර උපදෙස් ලබා දී ඇත.
එබැවින් පත් කරන ලද විශේෂඥ කමිටුව මඟින් නිර්දේශ කර ඇති නව ක්‍රමවේදයට අදාළ නියමු අධ්‍යයනය සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කර ඇත.
එසේම එහිදී දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක වෙනුවට, සමාජ-ආර්ථික අවදානම් තත්ත්වයන් පදනම් කරගත් නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බව නිලධාරීන් සඳහන් කර ඇත.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අඳාළ යෝජිත නව ක්‍රමවේදය පරීක්ෂා කිරීමට තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක නියමු අධ්‍යයනයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව මෙම නව ක්‍රමවේදය යටතේ එක් පවුලක රැකියා හා ජීවනෝපාය සුරක්ෂිතභාවය, පවුල් සංයුතිය, වයස්ගතභාවය, ආබාධිතභාවය, දිගුකාලීන රෝගී තත්ත්වයන්, නිවාස සහ මූලික සේවා සඳහා ප්‍රවේශය මෙන්ම ණය බර ඇතුළු සමාජ-ආර්ථික අවදානම් සාධක සලකා බැලීමට යෝජනා කර ඇති බව ද එහිදී හෙළි වී ඇත.
ඒ අනුව යෝජිත නව ක්‍රමවේදය සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, නියමු අධ්‍යයනය ක්‍රියාත්මක කිරීමට කාරක සභාවේ අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.