මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා ආයෙත් කාර්යාලයට එන්න එපා කියපු නිලධාරීන් අස්වැසුමේ මුදල් අරන් - දැවැන්ත මංකොල්ලයක්
දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසක් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් වංචා කිරීමේ ජාලය රුපියල් එක්කෝටි හැටදෙලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බවට විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව මෙම මුදල් වංචාවට එම කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙක් සම්බන්ධ බවට හෙළි වීමත් සමඟ, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන මෙන් ඉල්ලා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (06) දින පැමිණිල්ලක් ගොනු කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් මීට ප්‍රථම ප්‍රාදේශීය ලේකම්වරයා කළ පැමිණිල්ලක් මත, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ භාරව කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අඳාළ සැකකාරිනියන් දෙදෙනා මේ මස (11) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මෙම වංචාව හෙළි වී ඇත්තේ, අස්වැසුම දීමනාව නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් වෙත නිර්නාමිකව යොමු කරන ලද ලිපියක් පදනම් කරගෙන බව සඳහන්.
එබැවින් ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය, සැකකාරිනියන් දෙදෙනා දිස්ත්‍රික්කයේම වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර, නුවරඑළිය දිස්ත්‍රික් සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශවල නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා 2023 සිට 2025 දක්වා කාලය තුළ විශේෂ විගණන පරීක්ෂණයක් සිදු කර තිබූ බව සඳහන්.
එසේම විගණන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම රැඳී සිටිමින් අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන අතර, මේ වන විට එම කාර්යාලය යටතේ සේවය කරන සියලුම ග්‍රාම සේවා නිලධාරීන්ගේ, අස්වැසුම අංශයේ අනෙකුත් නිලධාරීන්ගේ සහ ප්‍රතිලාභීන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
අස්වැසුම මුදල් නොලැබීම සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් කාර්යාලයට ගොස් විමසූ විට, "මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරනවා, ආයෙත් කාර්යාලයට නොපැමිණෙන්න" යනුවෙන් සඳහන් කරමින් සැකකාරිනියන් එම ප්‍රතිලාභීන්ට තර්ජනය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර සැකකරුවන් විසින් අස්වැසුම මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර, එම මුදල් ණය මුදලක් වශයෙන් පෞද්ගලිකව අතමාරු මඟින් ලබා දී ඇති බවත්, එම මුදල් යළි පොලී රහිතව වාරික ලෙස ලබා ගත් අයගෙන් මාසිකව එකඟ වූ මුදලක් අය කරගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද පොලිසිය වාර්තා කළා.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 කම අස්වැසුම, දිවිනැඟුම සහනාධාර, සමෘද්ධි දීමනා, කොරෝනා ව්‍යසන සමයේ රජය ලබා දුන් රු. 5,000 දීමනාව ඇතුළු ප්රතිලාභ නිසි ආකාරයට ගෙවා ඇද්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි පවසයි.