හැමෝම හොය හොය යන අම්බුලුවාව කැලේට කරන්න ගිය විනාසේ - තරුණියක් ඇතුළු 4ක් අත්අඩංගුවට
ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට ගිනි තැබීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිවු දෙනෙකු ගම්පොළ පොලිසිය වෙත භාර දී ඇත.
එසේ පොලිසියට භාර දුන් පිරිස අතර වයස අවුරුදු 18ක තරුණියක් ද සිටින බව සඳහන්. මේ අතර අඳාළ සැකකරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණ තිබෙන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.
එසේම මෙම පිරිස අම්බුලුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ ත්‍රාසජනක ක්‍රීඩා කලාපයට ආසන්නයේ පිහිටි ෆයිනස් වගාවකට ගිනි තබා ඇති බවට ද චෝදනා පවතී.
පෙරේදා (02) දින පස්වරු 5.00ට පමණ හටගත් මෙම ගින්න, සංකීර්ණයේ කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් නිවා දමා ඇති බව පවසයි.
මේ අතර අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ කළමනාකාර හා ව්‍යාපෘති සම්බන්ධීකාරක ෆයර්ඩ් බාකිර් මහතා විසින් ගම්පොළ පොලිසියට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අඳාළ පැමිණිල්ලෙන් වර්තමානයේ අම්බුලුවාව සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර යන විවිධ මත සහ මෙම ගිනි තැබීම අතර යම් සම්බන්ධයක් පවතීද යන්න සම්බන්ධයෙන් සොයා බලන මෙන් ඔහු ඉල්ලා ඇත.
විශේෂයෙන්ම මෑතක කාලයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රකාශයක් මෙම ගිනි තැබීමේ සිද්ධියට අනුබලයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බාකිර් මහතා තම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම පැමිණිල්ල සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇති සම්බන්ධය තහවුරු කර ගැනීමට ගම්පොළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.