අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘති සිහනය සැබෑ වෙයි ද? ව්‍යාපෘතිය ගැන සොයන්න විශේෂඥ කමිටුවක්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය සොයා බැලීම් සිදු කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එම කමිටුවේ නම් මේ වන තෙක් ඉදිරිපත් කර නොමැති බවත්, කමිටුව පත් කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන වාර්තාව අනුව කටයුතු කරන බවත් ඔහු පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය:
“පසුගිය පෙබරවාරි 04 වැනිදා පස්වරුවේ පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිලධාරීන්, අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පරිසරවේදීන් ඇතුළු කණ්ඩායමක් මෙම ක්ෂේත්‍රයේ ඒකාබද්ධ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කේබල් කාර් ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා දෙද්දී ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවත්, මහජන අදහස් ලබා ගැනීමට තිබූ අවස්ථාව නැති කර ඇති බවත් එහිදී හෙළි විය. පුවත්පත් දැන්වීම් දමා මහජනතාවට එම අවස්ථාව සලසා දී නොමැති අතර, ගැසට් පත්‍රයේද පළ කර නොමැත.
මෙම ප්‍රදේශයේ ආවේණික සත්ත්ව හා ශාක ගණනාවක් පවතින අතර, පාරිසරික ඇගයීමේ ක්‍රියාවලියට වනජීවී අධිකාරිය සම්බන්ධ කර ගෙන නොතිබුණි. තක්සේරු වාර්තාවක් ලබා ගැනීම වෙනුවට මූලික පාරිසරික අධ්‍යයන වාර්තාවක් පමණක් ලබා ගෙන තිබේ. මේ අනුව තාක්ෂණික කරුණු ගණනාවක්ද අනාවරණය විය.
එම කණ්ඩායම ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගෙන පරිසර අමාත්‍යාංශය විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කර ඇත. එම කමිටුවේ නම් තාමත් ඉදිරිපත් වී නොමැත. ඉදිරි කටයුතු වන්නේ එම විශේෂඥ කමිටුව පත් කර එහි වාර්තාවට අනුව ක්‍රියාත්මක වීමයි.”
මෙම තීරණය අම්බුළුවාව ප්‍රදේශයේ පරිසර ආරක්ෂාව සහ ව්‍යාපෘතියේ නීතිමය හා පාරිසරික ගැටලු පිළිබඳ රජයේ ගත් තීරණයක් ලෙස සැලකේ. විශේෂඥ කමිටුවේ වාර්තාව මත ඉදිරි පියවර තීරණය වනු ඇත.