ශ්‍රීලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර හොරුන්ගෙන් වැදුණු මාරක ටොක්ක - මිලියන ගණනක වංචා දෙකක් එළියට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පිහිටි ආයතනයකට මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් සහ ඉන්දියාවේ චෙන්නායි කාර්යාලයේ සිදුව ඇති වංචා චෝදනා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ, ඩුබායිහි සේවා සපයන ආයතනයක නිල ඊමේල් ගිණුම තෙවන පාර්ශවයක් විසින් වංචනික ලෙස වෙනස් කර ඇති බවයි.
ඒ අනුව වංචනික ඊමේල් පණිවිඩ මගින් ලබාදුන් බැංකු තොරතුරු මත, ඩිරාම් 974,000ක මුදලක් වැරදි ගිණුමකට ගෙවා ඇති බවද සමාගම පවසයි.
මෙම සිදුවීම හඳුනාගත් වහාම අදාළ ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවා ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත් පැමිණිලි කර ඇති බව සඳහන් වේ.
මෙම වංචාව සේවා සපයන්නාගේ ඊමේල් පද්ධතිය අවභාවිත වීමක් බවත්, එය සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය පෙන්වා දෙයි.
ඉන්දියාවේ චෙන්නායි කාර්යාලයේ සේවය කළ කිහිප දෙනෙකු විසින් ව්‍යාපාරික ඉන්වොයිස් සහ ගෙවීම් තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කරමින් ඉන්දිය රුපියල් මිලියන 22ක පමණ මුදලක් වංචා කර ඇති බවද සමාගම අනාවරණය කර තිබේ.
අභ්‍යන්තර පරීක්ෂණයකදී සැකකටයුතු ගනුදෙනු කිහිපයක් හඳුනාගෙන ඇති අතර, විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අදාළ සේවකයින් සේවයට පැමිණීමද නවතා ඇති බව සඳහන් වේ.
ඒ අනුව ඉන්දීය නීති බලාත්මක කිරීමේ ආයතන වෙතද මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව සමාගම වැඩිදුරටත් පවසයි.
මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව සිදුවන බවද ශ්‍රීලංකන් ගුවන් සේවයේ අවධාරණය කරයි.