ඇෆ්ගනිස්තානයට සුපිරි හතරදෙනාගේ වටයට ඇතුලත් වීමට හැකියාව අවසාන මොහොතේ තිබිලා..කිසිම දැනුවත් කිරීමක් කළේ නෑ!..
ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු වටයේ තීරණාත්මක තරගයේ දී, දළ ලකුණු වේගය අනුව පන්දුවාර 37.1ක දී ලකුණු 292ක ඉලක්කයට ළඟා වීමට අපොහොසත් වූ පසුවත් තම කණ්ඩායමට සුපිරි හතරදෙනාගේ වටයට ඇතුලත් වීමට හැකියාව තිබූ බව තම කණ්ඩායම නොදැන සිටි බව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් අවධාරණය කර සිටිනවා.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන පුහුණුකරු කියා සිටියේ,
"එම ගණනය කිරීම් අපට කිසි විටෙකත් සන්නිවේදනය කර නැහැ." අපිට දැනුම් දුන්නේ ඕවර 37.1කින් ජයග්‍රහණය කළ යුතුයි කියලා විතරයි. අපිට ලකුණු 295ක් හෝ 297ක් ලබාගන්න පුළුවන් ඕවර මොනවා ද කියලා අපිට කිව්වේ නැහැ. ඕවර 38.1ක් ගැන අපිට දැනුම් දුන්නේ නැහැ." යනුවෙන්.
කෙසේ නමුත් තීරණාත්මක තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි හතර දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමටත්, කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් තරගය ජයග්‍රහණය කිරීමට ද හැකියාව ලැබීය.
එම තීරණාත්මක තරගයේ 37 වැනි පන්දුවාරය අවසානයේ ඇෆ්ගනිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 289ක් ලබා සිටි අතර, දළ ලකුණු වේගය අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සුපිරි හතරදෙනාගේ වටයට තේරීමට නම් තවත් එක් පන්දුවක (37.1) දී ලකුණු 3ක් ලබා ගත යුතුව තිබුණා.
කෙසේ නමුත් එම පන්දුවේ දී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ මුජීබ් උර් රහ්මාන් ලෝන්ග්-ඕන් කලාපයේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි සධීර සමරවික්‍රම වෙත උඩපන්දුවක් ලබා දුන් අතර අනෙක් අන්තයේ රැඳී සිටි රෂීඩ් ඛාන් දනින් වැටී සන් කළේ, සුපිරි සිව් හතර දෙනාගේ වටයට තේරීමට තිබූ හැකියාව ගිලි හී ගිය බවයි.
මේ අතරවාරයේ විස්තර ප්රචාරක කුටියෙන් සන්නිවේදනය කළේ, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එම වරය සඳහා තේරී පත් වීමට තව දුරටත් හැකියාවක් ඇති බවත් ඒ අනුව පන්දුවාර 37.2ක දී ලකුණු 293ක්, පන්දුවාර 37.3ක දී ලකුණු 294ක්, පන්දුවාර 37.5ක දී ලකුණු 295ක්, පන්දුවාර 38ක දී ලකුණු 296ක් හෝ පන්දුවාර 38.1ක දී ලකුණු 297ක් හෝ ඊට වඩා ලබා ගත යුතු බවයි.
කෙසේ නමුත් එම හැකියාව තිබිය දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ෆසාල්හක් ෆරූකි පන්දුවාර 37.4 දී ධනංජය සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට තියා තරගය වත් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලබා නොදෙමින් වීම විශේෂත්වයක්.
ඒ අනුව පළමු වටයේ තරග දෙක ම පරාජයට පත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආසියානු කුසලාන සිහිනය නිමාවට පත් විය.