ලී අවියක් ළඟ තියාගෙන IP නෝනෙකු ලෙසින් රඟපෑ කතක් රිමාන්ඩ්
පරික්ෂක ශ්‍රේණියේ ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී පිස්තෝල වර්ගයේ පැති අවියකට සමාන ලෙස ලීයෙන් තැනූ අවියක් සන්තකයේ තබාගෙන පොලිස් පරීක්ෂකවරියක් ලෙස කොළඹ ලැඟුම්හලක් අසල රැඳී සිටියදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඇය මෙම මස 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේසත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රබුක්කන, දෝමරියවත්ත, ලිපිනයේ පදිංචි ආරච්චි අප්පුහාමිලාගේ මාලිකා සුභාෂිනි (46) නමැති කාන්තාවකි.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මෙහෙයුම් රාජකාරීයේ යෙදී සිටියදී පොලිස් ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී ගමන් කරමින් සිට ඇති සැකකාරිය පරීක්ෂා කිරීමේදී ඇය පොලිස් පරීක්ෂකවරියක් බවට පවසා තිබූ බව පොලිසිය පවසයි.
ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඇයගෙන් පොලිස් හැඳුනුම්පත ඉල්ලා සිටීමේදී එය නොමැති බවත් අනතුරුව ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටීමේදී එයද නොමැති බවටත් සැකකාරිය පවසා ඇත.
අනතුරුව මෙම සැකකාරිය සිය ජාතික හැඳුනුම්පත සහ රියැදුරු බලපත්‍රය අස්ථානගතවූ බවට සඳහන් කරමින් පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලක පිටපතක් පෙලිස් නිලධාරීන්ට පෙන්වා ඇත.
අනතුරුව වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී ඇයගේ ගමන් බෑගය තුළ තිබී ලීයෙන් සකස් කරන ලද කළු පාටට හුරු පිස්තෝල වර්ගයේ ව්‍යාජ ගිනි අවියක් හමුවූ බව පොලිසිය සඳහන් කරයි.
එම කාන්තාව පොලිසියට රැගෙන ඒමෙන් පසු සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම කන්තාව විදෙස් රැකියා ලබාදිමට යැයි කියා බොහෝ පිරිසකගෙන් මුදල් රැගෙන කුරුණෑගල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයට ලබා දුන් බවත් එම නියෝජිත ආයතනය පොරොන්දු වූ පරිදි රැකියා ලබාදී නොමැති බවටත් කියමින් ප්‍රකාශයක් ලබාදී ඇතැයි දි පොලිසිය පවසයි.
ඒ අනුව, මුදල් ලබාදුන් අයවලුන්ගේ තර්ජනයෙන් බේරීම සඳහා ගමෙන් පිටමංව පැමිණ කොළඹ ප්‍රදේශයෙන් රෙදිපිළි රැගෙන ගොස් රඹුක්කන ප්‍රදේශයේ අලෙවි කරන බවට ඇය සිය ප්‍රකාශයෙන් සඳහන් කළ බවයි පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර කාන්තාව අදාල ලැගුම්හලේ කළමනාකාරීත්වයට පවසා ඇත්තේ ඇය පොලිස් පරීක්ෂකවරියක් බවයි. ඒ අනුව මෙම සැකකාරිය යම් අපරාධ සිදුකර ඇද්ද, කිසියම් අපරාධයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටීත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව ද පොලිසිය සඳහන් කරයි.