ශාසනයට අති විශාල සේවාවක් කළ, පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ අපවත් වෙයි..

By Sewvandhi Aug 19, 2024 08:39 AM GMT
Report

කොළඹ පෞද්ගලික රෝහලකදී අද (19) ,ඓතිහාසික රංගිරි - දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ 63 වන වියේ පසු වු අතර විහාරස්ථ දායක සභාව පවසන්නේ, උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම්දෙන බවයි.

1961 වසරේ ජූලි මස 13 වැනි දින දඹුල්ල දිසා රෝහලේදී උපත ලද උන්වහන්සේ කුඩා අවදියේම ඓතිහාසික රංගිරි - දඹුල්ල රජමහා විහාර මැද පන්සලේ පැවිදි දිවියට එක්ව තිබේ.

එදා සිට අපවත් වන කාලය දක්වාම උන්වහන්සේ දඹුලු පුරවරයට පමණක් නොව මුළු මහත් සමාජයටම විශාල සමාජීය ආගමික සේවාවන් රැසක් ඉටු කිරීම විශේෂත්වයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඹගස්වැව නම් වූ ග්‍රාමයේ උපත ලද උන්වහන්සේ අපවත් වන විට ඓතිහාසික රංගිරි - දඹුලූ රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය උසුලන්නට විය. අඹගස්වැවේ රාහුල නාහිමියන් 1982 ජුනි මස 26 වන දින උපසම්පදාව ලබා ගත්හ.