පිරමීඩ ක්‍රමයට මුදල් වංචා කරන ආයතන 17ක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Sri Lanka Police Government Of Sri Lanka
By Aruna Apr 20, 2024 12:41 AM GMT
Aruna

Aruna

Report

පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පත් ලබා ගත් ආයතන දාහතක්(17) මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව, මහ බැංකුව පෙන්වා දෙන්නේ, පසුගිය කාලයේ විවිධාකාරයේ පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වූ බවත්, ඒවා පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි.

එහෙත් ඕනෑම අවස්ථාවක එවැනි ජාවාරම් යළි මතුවීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් දන්නා තොරතුරු දැනුම් දීම ජනතාවගේ වගකීමක් බවයි මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙවැනි ජාවාරම් හෝ මීට අදාළව තමන්ට සිදුවී ඇති අකටයුතුකම් පිළිබඳව මහ බැංකුවේ ‘‘බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව’’ ට පැමිණිලි කිරීමට මහ බැංකුව මහජනතාවට අවස්ථාව සලසා ඇත.

එමෙන්ම මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ, එවැනි ඇතැම් ආයතන මහ බැංකුව මගින් අධීක්ෂණය වන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, එවැනි කාරණා පිළිබඳව තොරතුරක් ලද වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

එවැනි තොරතුරක් ලැබුණ සැණින් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.