ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඉල්ලා අස් වෙයි
හිරේ යන්න බැරි බව පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කරුණාරත්න ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
රෝහල් ආරංචිමාර්ග පවසන්නේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම සිදුකල නොහැකිබව දැනුම්දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය වරියක් ඉල්ලා අස්වී ඇති බවයි.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාහිරින් ඖෂධ ලබා ගැනීම සඳහා නව නිර්ණායක නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව එම වෛද්‍ය වරුන් පවසනවා. ඔවුන් තීරණය කර ඇත්තේ බාහිරින් ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට ඇතිවන නීතිමය ගැටලු හේතුවෙන් මෙලෙස බාහිරින් ඖෂධ නියම කිරීමෙන් වැළකී සිටීමටයි.
මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමෙන් පසුවය.එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, තමන්ට සිරගත වීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම භාරගෙන රෝගීන්ට සාධාරණයක් ඉටු කරන ලෙසත්ය.
මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී වෛද්‍යවරුන් සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.එහිදී, රෝගීන් සඳහා බාහිරින් ඖෂධ ලබා දීම සඳහා අනුගමනය කළ යුතු නිල නිර්ණායක කඩිනමින් නිකුත් කරන තෙක් මෙම පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ප්‍රධානියා මේ සඳහා කඩිනමින් මැදිහත් වී ගැටලුවට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව වාර්තා වනවා.
