Google Chrome පරදන්න ChatGPT වෙතින් අලුත් බ්‍රවුසරයක්
ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ වෙළඳපොළ ආධිපත්‍යයට අභියෝග කරමින්, ඕපන්ඒඅයි (OpenAI) ආයතනය කෘත්‍රිම බුද්ධියෙන් යුත් නව වෙබ් බ්‍රවුසරයක් ඉදිරි සති කිහිපය තුළ එළිදැක්වීමට සූදානම් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම බ්‍රවුසරය පාරිභෝගිකයන්ගේ වෙබ් භාවිතය මූලික වශයෙන් වෙනස් කිරීම අරමුණු කරයි.
මෙමගින් ඕපන්ඒඅයි හට පරිශීලක දත්තවලට සෘජු ප්‍රවේශයක් හිමිවන අතර, චැට්ජීපීටී හි සතිපතා සක්‍රීය පරිශීලකයින් මිලියන 500ක් මෙම බ්‍රවුසරයට යොමුවුවහොත්, ගූගල් හි වෙළඳ දැන්වීම් ආදායමට බලවත් බලපෑමක් එල්ල විය හැකිය. ගූගල් ක්‍රෝම්, ඇල්ෆබට් සමාගමේ ආදායමෙන් ¾කට ආසන්න ප්‍රමාණයක් උපයන වෙළඳ දැන්වීම් ව්‍යාපාරයේ ප්‍රධාන කුළුණකි.
ඕපන්ඒඅයි හි බ්‍රවුසරය, චැට්ජීපීටී වැනි සංවාදමය අතුරුමුහුණතක් තුළ පරිශීලක අන්තර්ක්‍රියා රඳවා ගැනීමට නිර්මාණය කර ඇති බව ආරංචි මාර්ග පවසයි. එය ඕපන්ඒඅයි හි සේවාවන් පාරිභෝගික ජීවිතයට ඒකාබද්ධ කිරීමේ උපායමාර්ගයක කොටසකි.
කෙසේ වුවත්, ඕපන්ඒඅයි හට තීව්ර තරඟයකට මුහුණ දීමට සිදුවනු ඇත. ස්ටැට්කවුන්ටර් (StatCounter) ට අනුව, ගූගල් ක්‍රෝම්, බිලියන 3කට වැඩි ජනතාවක් භාවිතා කරමින්, ලෝක බ්‍රවුසර් වෙළඳපොළෙන් ⅔කට වැඡි කොටසක් හිමිකරගෙන ඇත. ඇපල් හි සෆාරි බ්‍රවුසරය 16%ක කොටසක් සමඟ දෙවැනි ස්ථානයේ රැඳේ.
ඕපන්ඒඅයි හි බ්‍රවුසරය, ගූගල් ක්‍රෝම්, මයික්‍රොසොෆ්ට් එජ්, ඔපෙරා ආදි බ්‍රවුසර්වලට මූලික වන ක්‍රෝමියම් (Chromium) විවෘත-මූලාශ්‍ර කේතය මත ගොඩනගා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසරේ Google Chrome දියුණු කළ මුල් කණ්ඩායමේ සාමාජිකයින් වූ ගූගල් උප සභාපතිවරුන් දෙදෙනකු ඕපන්ඒඅයි විසින් බඳවා ගන්නා ලදී.
තරඟකාරීත්ව නීති මගින් ක්‍රෝම් බ්‍රවුසරය විකිණීමට බල කළහොත්, එය මිලදී ගැනීමට ඕපන්ඒඅයි සූදානම් බව එහි විධායක නිලධාරියකු අප්‍රේල්හිදී ප්‍රකාශ කළේය. වෙනත් බ්‍රවුසරයක "ප්ලග්-ඉන්" නිර්මාණය කිරීම වෙනුවට, දත්ත පාලනය වැඩි කරගැනීමට ඕපන්ඒඅයි තමන්ගේ බ්‍රවුසරයක් නිර්මාණය කිරීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
