නත්තල් සමයේ සීනි හිඟයක් ගැන ඉඟියක්.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි ආනයනය කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදුවන බව සීනි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
වෙළඳ අමාත්‍යාංශයේ පෙරේදා (08) වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු සහ සීනි ආනයනකරුවන් අතර පැවති සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.
ආනයනකරුවන් පෙන්වා දී ඇත්තේ ඩොලරය ඉහළ යාම සහ සීනි කිලෝග්‍රෑමයකින් රුපියල් 40ක පාඩුවක් සිදු වීම නිසා ඉදිරියේදී සීනි ඇණවුම් අවලංගු කිරීමටද සිදු වන බවයි.
එම තත්ත්වය මත නත්තල් සහ අලුත් අවුරුදු සමයේ රට තුළ සීනි හිඟයක් ඇති විය හැකි බවටද ඔවුන් අනතුරු හඟවා තිබෙනවා.
ආනයනකරුවන් වෙළඳ ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙසයි. නමුත් අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තවද සීනි ආනයනකරුවන් සතුව මේ වනවිට සීනි මෙට්‍රික් ටොන් තිස් දහසක පමණ තොගයක් ඇති බවද මෙහිදී අනාවරණය විය.
ආනයනකරුවෝ පවසන්නේ දෛනික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2000ක් වන අතර දැනට සතු තොගය ප්‍රමාණවත් වන්නේ දෙසතියකට පමණක් බවයි.
ඇමැති නලින් ප්‍රනාන්දු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත්තේ සීනි ආනයනකරුවන් සතු සීනි තොග ගබඩා පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසයි.
මුදල් අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ සීනි සඳහා කිලෝග්‍රෑමයකට ශත 25ක්ව පැවති ආනයන බද්ද රුපියල් 50 දක්වා වැඩි කළ බව සඳහන් කරමිනි.
මෙම ගැසට් නිවේදනයෙන් පසු රුපියල් 250ක්ව පැවති සීනි තොග මිල ඊයේ (09) වන විට රුපියල් 315 දක්වා වැඩි වී තිබෙනවා.
වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසන්නේ සීනි ආනයනකරුවන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ශත 25 ආනයන බද්දට ගෙනා සීනි අලෙවි කිරීමෙන් පසු පාලන මිල සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බවයි.
