වසර 8කට පස්සේ ‘5G’ ගැන ඇහෙන අළුත්ම ආරංචිය මෙන්න
2025 සංඛ්‍යාත වෙන්දේසිය සඳහා අවශ්‍ය 5G අවසාන පැවරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අවසාන පැවරීම මඟින් නව පරම්පරාවේ දුරකථන හා තොරතුරු සන්නිවේදන සේවාවන් පුළුල් කිරීමට බලවත් පදනමක් මෙමගින් සැලෙසෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය, නවෝත්පාදනය සහ කර්මාන්තශීලී වර්ධනය සඳහා විශේෂයෙන්ම මෙම 5G තාක්ෂණය ප්‍රධාන මංපෙතක් බව ද ඔහු පෙන්වා දෙන ලදි.
එසේම වේගවත් අන්තර්ජාල පහසුකම්, අඩු ප්‍රමාද සහගත සන්නිවේදන සේවාවන් සහ නව තාක්ෂණික යටිතල පහසුකම් හරහා, වෛද්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මාන්ත හා ඇඟලුම් වැනි ප්‍රධාන කර්මාන්තයන්ට නව ජීවනයක් ලබා දිය හැකි බව ද, උදාහරණ ලෙස කෘෂිකර්මාන්තය තුළ ස්මාර්ට් සංවේදක භාවිතයෙන් අස්වැන්න වැඩි කරගැනීම සහ සම්පත් නාස්ති අඩු කිරීම, ඇඟලුම් කර්මාන්තයේ ස්වයංක්‍රීය පද්ධති හරහා ගුණාත්මකභාවය සහ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට උපයෝගී කරගත හැකි බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදි.
මින් අනතුරුව අදහස් දැක්වූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල හේරත් පෙන්වා දුන්නේ 2017 වසරේ සිට මේ දක්වාම 5G සේවාව ලබා දීමට උත්සාහයන් ගත්තද එය මේ දක්වාම ක්‍රියාත්මක නොවුණ බවයි.
ඒ අනුව 2017 සිට 2020 දක්වා කාලය තුළ තාක්ෂණික සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිෂන් සභාව මඟින් නියාමනයක් සිදු කළ අතර 2020-2022 වසරවලදී ලෝක බැංකුවේ තාක්ෂණික කමිටුව සහ ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමය, ජංගම දුරකතන සඳහා ගෝලීය සංගමය සමඟින් සිදුකළ තාක්ෂණික සාක්ච්ඡාවලින් අනතුරුව වඩාත් හොඳ සංඛ්‍යාත පරාසය සම්බන්ධයෙන් තීරණයකට පැමිණි බව සඳහන් වේ.
දීර්ඝ ක්‍රියාවලියකින් පසුව වෙන්දේසියේ අවසාන පැවරුම් නිවේදනය සිදු වන්නේ 2025 වසරේ දීය එය සියලු අනුමැතීන් සඳහා යොමු කර අනුමැතීන් ලබාගැනීමෙන් අනතුරුව බවත් ඔහු මෙහිදී අවධාරණය කරන ලදි. නිවේදනයෙන් මාස 2කකට ආසන්න කාලයක් තුළ වෙන්දේසි ක්‍රමවේදය නිම කිරීමට අපේක්ෂා කරනු ලබයි.
එම ක්‍රියාවලියෙන් පසුව ජනතාවට එම විදුලි සංදේශ සේවාව අත්විඳීමේ හැකියාව හිමිවන බවත් ඔහු තව දුරටත් පෙන්වා දී අදහස් දක්වා තිබේ.
මේ සඳහා දින 40 ක කාලයක් ලබා දෙන බවත් ඊට අදාළ සියලු තොරතුරු, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි දක්වා තිබෙන බවත් නිවේදනය කර ඇත.5G තාක්ෂණය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට විශාල පරිවර්තනයක් ළඟාකරනු ඇති බව මෙහිදී අදහස් දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන ප්‍රකාශ කරන ලදි.
එහිදී ඔහු පැහැදිළි කළේ ගම්මාන සහ නගර අතර තාක්ෂණික පරතරය අවම කරමින්, සියලු දරුවන්ට සහ පවුල්වලට ගුණාත්මක අධ්‍යාපනික හා ආර්ථික අවස්ථා ලබා දීමටත්, COVID-19 වසංගතයේදී අත්වින්දාක් මෙන් අන්තර්ජාලය ජීවිතයේ අත්‍යවශ්‍ය මූලික පහසුකමක් බව තහවුරු කිරීමටත් මෙම තාක්ෂණය දායක වනු ඇති බවයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ 5G වෙන්දේසි කමිටුව හා එක්ව නීතිගත හා තාක්ෂණික සම්මත යටතේ මෙය ක්‍රියාත්මක කර ඇති බව යි. ඒවගේම තමන් 2025 සංඛ්‍යාත වෙන්දේසිය ශ්‍රී ලංකාවට නව තාක්ෂණික මංපෙතක් විවෘත කරමින්, ආර්ථිකය සහ ජන ජීවිතය උච්චතම මට්ටමට ගෙන යාමට ප්‍රබල දායකත්වයක් ලබා දෙනු ඇති බව විශ්වාස කරන බව හෙතෙම ප්‍රකාශ කරන ලදි.