පකිස්තානයේ පොලිස් රථයක් ගිනිබත් කරමින් නිලධාරීන් 5ක් ඝාතනය වෙයි
පකිස්තානයේ වයඹ ප්‍රදේශයේ කොහට් නගරයේදී සන්නද්ධ කණ්ඩායමක් පොලිස් රථයකට ප්‍රහාරයක් එල්ල කර පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප්‍රහාරකයින් පොලිස් රථය ද ගිනි තබා විනාශ කර තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඇෆ්ගනිස්තානයට ආසන්න සීමා ප්‍රදේශයක වන කොහට් නගරයේදීය.
මෙයට පෙර දින කරක් නගරයේ සිදුවූ ඩ්‍රෝන හා තුවක්කු ප්‍රහාරයකින් අර්ධ සන්නද්ධ හමුදා සෙබලුන් තිදෙනෙකු මියගොස් තිබුණි. මෙම ප්‍රහාරයන් සඳහා කිසිදු කණ්ඩායමක් මෙතෙක් වගකීම භාරගෙන නොමැත.
පසුගිය සෙනසුරාදා, රමසාන් මාසය ආරම්භ වන සමයේදී, පකිස්තානය ඇෆ්ගනිස්තානය තුළ සන්නද්ධ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවත්, එය පකිස්තානය තුළ සිදුවූ ආත්මඝාතී බෝම්බ ප්‍රහාර මාලාවකට වගකිවයුතු කණ්ඩායම් ඉලක්ක කරගෙන සිදු කළ බවත් ඉස්ලාමාබාද් පාර්ශ්වය ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් කාබුල් පාර්ශ්වය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ එම ගුවන් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් සාමාන්‍ය පුරවැසියන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි.
පකිස්තානය පවසන්නේ සන්නද්ධ කණ්ඩායම් ඇෆ්ගනිස්තානය තුළ ආරක්ෂිත ආශ්‍රය ලබමින් සීමාව පසුකර ප්‍රහාර සැලසුම් කර ක්‍රියාත්මක කරන බවයි.
නමුත් ඇෆ්ගනිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, එය පකිස්තානයේ අභ්‍යන්තර ගැටලුවක් බව සඳහන් කර ඇත.
තාලිබාන් ආණ්ඩුවේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිද් ප්‍රකාශ කර ඇත්තේ පකිස්තානය විසින් සිදුකළ ප්‍රහාරය ඇෆ්ගන් භූමිය තුළ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර සිදුකළ “ත්‍රස්තවාදී ක්‍රියාවක්” වන අතර එය ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවයි.
ඇෆ්ගනිස්තානයට ආසන්න සීමා ප්‍රදේශ දිගුකාලයක් පුරා තෙහෙරීක්-ඒ-තාලිබාන් පකිස්තාන් ඇතුළු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකාරීව සිටින ප්‍රදේශ ලෙස සැලකේ.