ඉන්ධන පිරවුම්හල් 400 ක් වැසේ.

Sri Lanka Fuel Crisis
By Wayomi Sep 04, 2022 12:21 PM GMT
Wayomi

Wayomi

Report

ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන්.

ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදු කළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දුන්නා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 700ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්‍යයේ මෙම නව ගෙවීම් ක්‍රමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් පමණ ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

පසුදා ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා පෙර දින රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන තොගය සඳහා ඉන්ධන පිරවුම්හල් මුදල් ගෙවිය යුතුයි. නමුත් එසේ සිදුකිරීම අපහසු කටයුත්තක් බවයි කුමාර් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

එලෙස රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් පසුදින ඔවුන්ට ඉන්ධන ලැබෙන්නේ නැත.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවත් සති කිහිපයක් සාර්ථකව ඉන්ධන නිකුත් කිරීමෙන් පසුව නැවතත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවත් කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම ඔහු තව දුරටත් අවධාරණය කරන්නේ, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් මීට සමාන ගෙවීම් ක්‍රමයක් අනුගමනය කළත් එම ඉන්ධන පිරවුම්හල් සඳහා මධ්‍යම රාත්‍රී 12 තෙක් කාලය ලබා දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද එය අනුගමනය කරන්නේ නම් එය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට පහසුවක් බවත්ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW