තෙලිජ්ජවිලදී 9 හැවිරිදි දරුවෙකු පැහැර ගැනීමට තැත් කළ 4 දෙනෙක් අත්අඩංගුවට
මාලිම්බඩ, තෙලිජ්ජවිල ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු 9ක කුඩා පිරිමි දරුවෙකු පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් සිව්දෙනෙකු ගම්වාසීන්ගේ ද සහයෝගය ඇතිව අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි.
අදාළ දරුවා තම නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබේ. සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ පියා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් සිට ඇති අතර, මව පමණක් නිවසේ රැඳී සිට ඇත.
මාලිමාවටම වැඩ වරදී - මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු 159ටම එරෙහිව කොමිසමට පැමිණිල්ලක් - හේතුව මෙන්න
දරුවා උදෑසන ආහාර ගැනීමෙන් අනතුරුව පැන් පානය කිරීම සඳහා මුළුතැන්ගෙට ගිය අවස්ථාවේදී නිවසට අතුළු වූ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු, දරුවාගේ දෑත් රෙදි කැබැල්ලකින් ගැට ගසා දෑස් වසා පැහැරගෙන යාමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී දැඩි බියට පත් දරුවා මහත් හඬින් කෑගසා ඇති අතර, ඒ හේතුවෙන් කලබලයට පත් සැකකරුවන් දරුවා අතහැර ආසන්නයේ වූ කැලෑ රොදකට පලාගොස් සැඟවී තිබේ.
පසුව ක්‍රියාත්මක වූ මාලිම්බඩ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෙවුම් මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් සිව්දෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් වන අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු මාලිම්බඩ පොලිස් වසමේ සහ අනෙක් දෙදෙනා හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
මෙම සැකකරුවන් මීට පෙර ද විවිධ අපරාධ රැසකට සම්බන්ධ වී චෝදනා ලැබූ පුද්ගලයින් බවට සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.