කුසල්ගේ නායකත්වයෙන් එංගලන්තයට යන ශ්‍රී ලංකා සංචිත මෙන්න
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්දින සහ විස්සයි20 සංචිත නම් කර ඇති අතර, ආකෘති දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. චරිත් අසලංක එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකෙහිම උපනායකයා ලෙස නම් කර ඇත.
හිටපු නායක දසුන් ශානක විස්සයි20 කණ්ඩායමේ ස්ථානය තවදුරටත් රඳවාගෙන ඇති අතර, එක්දින සංචිතයටද යළි කැඳවා තිබීම විශේෂත්වයකි.
2027 එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාව සූදානම් වන පසුබිමක ඔහුට එක්දින කණ්ඩායමේ යළි අවස්ථාවක් ලබාදීම කැපී පෙනෙන තේරීමක් වී තිබේ.
ලහිරු උදාර සහ තරිඳු රත්නායක විස්සයි20 සංචිතයට ඇතුළත් කර ඇති අතර, පවන් රත්නායක, සචිඳු කොළඹගේ, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක එක්දින සංචිතයට පමණක් තෝරාගෙන තිබේ.
පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ එෂාන් මාලිංග ආකෘති දෙක සඳහාම නම් කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 5 වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, එහිදී විස්සයි20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.
තරගාවලිය සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයෙන් ආරම්භ වන අතර, දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරග කාඩිෆ් සහ මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතය. අනතුරුව එක්දින තරගාවලිය සැප්තැම්බර් 22 සිට 27 දක්වා ඩර්හැම්, ලීඩ්ස් සහ ලන්ඩන්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය-
පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස් (නායක), ජනිත් ලියනගේ, පවන් රත්නායක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය-
පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ලහිරු උදාර, කුසල් මෙන්ඩිස් (නායක), කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (උපනායක), ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, එෂාන් මාලිංග, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු.