2026 අයවැයට ඉහළ ඇඟයීමක්
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසින් 2026 අයවැය, පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අයවැයක් බව ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව සඳහන් කළේ 2026 අයවැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින්.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙමගින් නව ආයෝජන සඳහා පිවිසීමට පෞද්ගලික අංශයට විශ්වාසය ගොඩනැගී ඇති බවයි.
ඊයේ රාත්‍රියේ කොළඹදී 2026 අයවැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අයවැය සාකච්ඡාව පවත්වා තිබුණා.
ඒ සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් බව වාර්තා වේ.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා කියා සිටියේ,
"විවිධ වූ ප්‍රවේශයන් හරහා ව්‍යාපාර වර්ධනය වීමට සහ වඩාත් ලාභදායී වීමට ඔවුන්ට විශ්වාසය ලබාදීම රජයේ අරමුණ වනවා. ඩිජිටල්කරණය, දූෂණයට ඉඩක් ලබානොදීම එවන් ප්‍රවේශ කිහිපයක්. මම හිතනවා මෙම ප්‍රවේශ දැනටමත් ප්‍රතිලාභ ලබාදී තිබෙනවා කියලා. මෙමගින් වඩා හොඳ ඒකාබද්ධතාවයක්, පද්ධති හරහා අඩු කාන්දුවීම් සහ සියලුදෙනාට සහභාගී විය හැකි ගමනක් නිර්මාණය කර දෙනවා. මෙම ප්‍රවේශ අඩු අවදානමක් දරමින් වැඩි ආදායම් රැස්කර දෙනවා. පද්ධතිය සඳහා වගේම ව්‍යාපාර සඳහා සහ ජනතාවට වැඩි පීඩනයක් ලබා නොදෙමින් මෙම කර්තව්‍ය සිදුවනවා. මේ සම්බන්ධයෙන් අපිට ඇත්තේ දැඩි විශ්වාසයක්. 2026දී අපේ අරමුණු ඉටුකරගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා."
එසේම මෙම සාකච්ඡාවට එක්වෙමින් කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ,
"අපි විශ්වාසයෙන් යුතුව කියනවා අපි පිරිසිදු දේශපාලනයක් පවත්වාගෙන යනවා කියලා. මේ අයවැය සකස් කිරීමේදී පවා අපි මේ මූලධර්ම අනුගමනය කළා. දෙවැනි වැදගත් කාරණය තමයි ගුණාත්මක හා ප්‍රමාණාත්මක සාධක ගුණාත්මක සාධක හරිම වැදගත්. අපි කිසිවෙකුවත් අත්හැරලා නැහැ. සියලුදෙනා එක්ව එක් අරමුණක් සපුරා ගැනීම සඳහා මෙන්ම එහි ප්‍රතිලාභ පොදුවේ භුක්තිවිදීමට හැකියි කියන හැඟීම මෙමගින් ඇතිවන බැවින් මම හිතනවා එය වැදගත් සාධකයක් කියලා."
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පවසා ඇත.
"වසර ගණනාවකට පසුව අපි දකිනවා අඩු උද්ධමනකාරී තත්ත්වයක්, කාලයක් පුරාවට පවතින අඩු පොලී අනුපාත තත්ත්වයක්. කාලයත් සමඟ පෞද්ගලික අංශයේ වැඩිවන මේ විශ්වාසය මෙරටට හොඳ වෙනසක් සිදුකරනු ඇති. මෙවර අයවැයේ තිබෙන වැදගත්ම සාධකය වනුයේ අපි ආර්ථික විනය පවත්වාගෙන යෑමයි. මෙම විනය පෞද්ගලික ව්‍යාපාර ක්‍රියාත්මක වන හෝ සාර්ථක වන ආකාරය කෙරෙහි බෙහෙවින් බලපානු ඇත."