අගමැති නිවසට ගිනි තැබූ බවට සැක කරමින් රිමාන්ඩ් කළ පිරිස 20 දක්වා ඉහළට

By Sithumi Jul 10, 2022 12:55 PM GMT
Sithumi

Sithumi

Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 10 නියෝග කළේය . 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල, ගාල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 ත් 19 අතර වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි. මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

සිද්ධියට අදාළව සීසීටීවී දර්ශන සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් ගේ ප්‍රකාශ මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය බැවින් ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට ලෙස කොල්ලූපිටිය පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කර සිටියේ තම සේවාදායකයින් තිදෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදිකරුවන් බව ය. 

 ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 20 වැනිදා හඳුනාගැනීමේ දොරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කරමින් එදින තෙක් ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළේය .