මත්ද්‍රව්‍ය සහ ආයුධ ඇති යාත්‍රා 2 ගොඩබිමට
දිවයිනට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙක අද (12) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදී.
මෙම යාත්‍රා දෙකේ සැකකරුවන් 10 දෙනෙකුද නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දකුණු පළාතේ පදිංචිකරුවන් බව වාර්තා වේ. අද පෙරවරුවේ ධීවර යාත්‍රා දෙක හා සැකකරුවන් දික්ඕවිට වරායට රැගෙන එන ලදී.
නාවික හමුදාවේ දිගු දුර නෞකා යොදාගෙන සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රා දෙක හඳුනාගෙන තිබුණි.
එක බහුදින ධීවර යාත්‍රාවකින් සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල ප්‍රමාණයක බර කිලෝග්‍රෑම් 600කට අධික බව නාවික හමුදාව පවසයි.
මෙය මේ වසරේ නාවික හමුදාව භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවටද සැලකේ. එම යාත්‍රාවේම සොයාගත් ගිනි අවි මෙසේය:
පිස්තෝල ගිනිඅවි 8ක් (මැගසින් සමඟ)
T56 ගිනිඅවි 2ක්
M16 වර්ගයේ ගිනිඅවියක්
අනෙක් බහුදින ධීවර යාත්‍රාව මෙම ප්‍රධාන යාත්‍රාවට සහාය වී ඔත්තු බැලීම සඳහා පැමිණ තිබූ බවට සැක පළ කෙරේ.
නාවික හමුදාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අතර, මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හඳුනාගැනීමට බලාපොරොත්තු වේ.